Tuesday, December 25, 2012

පෘථිවි ජීවීන්ගේ ජීවය රැඳි "මහා ගගන සාගරය"

පෘථිවි ජීවීන්ගේ ජීවය රැඳි "මහා ගගන සාගරය"

 
මිනිස්‌ සංහතියට තමන් ජීවත් වන පෘථිවි ගෝලය වටා වායුගෝලයක්‌ (Atmosphere) පිහිටා තිබෙන බවත් එම නිසාම සියලුම සත්ත්වයන්ට ජීවය ලැබී තිබෙන බවත් අද්‍යතනව බොහෝ මිනිසුන්ට අමතකවීම මානව ප්‍රගමනයට සෑම අතින්ම බලවත් තර්ජනයකි.

වායුගෝලය නමැති ඒ අද්වීතිය චමත්කාර ජනක ක්‍රියාවලියෙහි ඇති විස්‌මය දනවන ස්‌වාභාවය ගැන සලකා බලන විට "වායුගෝලය" යන යෙදුම ඊට භාවිත කරලීම සැබැවින්ම අවතක්‌සේරුවකි.

වායුගෝලය හෙවත් ඇට්‌මොස්‌පියරය විස්‌තර කිරීමට වඩාත් යෝග්‍ය හා සරල යෙදුම "මහා ගගන සාගරය" බව චාල්ස්‌ ඩාවින් (Charles Robert Darwin
1809-1882 / known for the voyage of the beagle on
the origin of species natural selection) සමග එක්‌ව පරිණාම වාදය එළිදැක්‌වූ ඇල්ප්‍රඩ් රසල් වොල්ස්‌ (Alfred Russel Wallace 1923-1913 / known for his
co-discovery of natural selection and his work on
 Biogeography) 1903 දී ප්‍රකාශ කර ඇත.


"මහා ගගන සාගරය" යන යෙදුමෙන් මිනිසා තුළ ඇති කරන සිතුවිල්ල නොහොත් ස්‌මෘති ලාංඡනය දේශගුණය ලෙස නිගමනය කරමින් ඉහළ අහසේ ජනිත වන වායු ස්‌ථර ප්‍රවාහයන් හා අප අතර ඇති සුවිශාල අවකාශය නිවැරදිව මිනිස්‌ සන්තානයේ තැන්පත් වී අවබෝධ වන බව වොල්ස්‌ගේ අදහසයි. වොල්ස්‌ ජීවත් වූයේ විද්‍යාවේ රෝමාන්තික අවධියේදීය. ඒ අවධියේ වායුගෝලය පිළිබඳ අලුතෙන් යමක්‌ සොයා ගැනීම අද්‍යතනව අඟහරු ලෝකයෙන් ගත් ඡායාරූපයක්‌ ලැබීම හෝ පාෂාණභූත වූ දැවැන්ත ජීවියකු හමුවීම තරමටම විස්‌මය දනවන කරුණක්‌ විය. වායුගෝලය කෙතරම් විස්‌මය දනවන ක්‍රියාවලියක්‌ද, යත් එය ධූලි අංශු වලින් තොර වී නම් ක්‍ෂිතිජයේ හිරු බැස යැමත් අපිරිසිදු වතුර බඳුනක්‌ දෙස බැලීමත් අතර කිසිම වෙනසක්‌ නැති බවත් හිරු බසින විට ඇති වන ඡායා මිනිසාගේ පියවි ඇසින් විනිවිද දර්ශනය කළ නොහැකි තරම් තද අඳුරු බවත් වෝල්ස්‌ විස්‌තර කර ඇත.



වායුගෝලය නිතැතින්ම විස්‌මය ජනක වන අතර එය සියලු ප්‍රාණීන්ට ජීවන හුස්‌ම ලබා දෙන අතර ජීව අජීව වස්‌තූන් අතර අෙන්‍යාaන්‍යය සම්බන්ධයද පවත්වා ගෙන යැමට උපකාරී වේ. මිනිසා ජීවත් වන පෘථිවි ගෝලය විශ්ව චක්‍රාවාට සමූහ මණ්‌ඩලයේ වර්ගෝ චක්‍රාවාටයේ (Virgocluster) බිහිවී ගත වූ වසර බිලියන හතරහමාර සිසාරාම මහ පොළොවේ උෂ්ණත්වය විධිමත් ලෙස හසුරුවා ගැනීමට උක්‌ත වායුගෝලය නොහොත් "මහා ගගන සාගරය" සමත්ව තිබීම තවදුරටත් ජීවින්ට වාසනාව ගෙන දෙන්නෙකි. ප්‍රංශ ජාතික චාල්ස්‌ මෙයිසර් 1774 දී ප්‍රකාශයට පත් කරන ලද තාරකා විද්‍යාඥයන් සඳහා වූ Messier's Cataloge නොහොත් aAstronomical Cataloge හි ප්‍රථමයෙන්ම වර්ගෝ චක්‍රාවාට සමූහ මණ්‌ඩලය පිළිබඳව සටහන් වී ඇත.

එහෙත් පෘථිවිය බිහිවී වසර බිලියන 2.2 අතර කාලයේදී පවා පෘථිවි වායු ගෝලය, මිනිසා වැනි සංකීර්ණ සත්ත්වයන්ට කිසිසේත්ම නොගැලපෙන මරණීය අනතුරු සහිත පරිසරයක්‌ සහිත ක්‍රියාවලියක යෙදී සිටියේය. උක්‌ත කාල වකවානුවේදී මහ පොලොවේ ජීවත් වූ සත්ත්ව ප්‍රජාව හුදෙක්‌ බැක්‌ටීරියා වැනි ඒක ශෛලික ක්‍ෂුද්‍ර ප්‍රාණීන්ටත් ඇල්ගී වැනි ප්‍රාථමික ශාකවලටත් සීමා විය.

ඉන් අනතුරුව මෙයින් මිලියන 600 කට පමණ පෙර සිට වායු ගෝලයේ ඔක්‍ෂිජන් ප්‍රතිශතය ප්‍රමාණවත් ලෙස වර්ධනය වීම ආරම්භ වීමත් සමග වඩා සංකීර්ණ වූත් පියවි ඇසින් දර්ශනය කළ හැකි ප්‍රමාණයට විශාල වූත් බහු ශෛලික සත්ත්වයන් මහ පොලොව සිය නිජ බිම කරගනුයේ පෘථිවියේ දේශගුණය බරපතල ලෙස වෙනස්‌ කළ දැවැන්ත අයිස්‌ සමය (Ice Age) 04 ක්‌ අතර තුරේදීය. අයිස්‌ සම පිළිබඳ වැඩි විස්‌තර දැන ගැනීමට en/.wikipedia.org/wiki/iceage වෙබ් අඩවිය ඇතුළු වෙබ් අඩවි රාශියක ඔබට පියාසර කළ හැකිය.

වසර මිලියන 600 කට ඉහත පළමු මහා අයිස්‌ සමයේදී සමකය (Equator) දක්‌වාම වූ මහ පොලොව හිම තට්‌ටුවකින් වැසී ගිය අතර එකල විසූ අල්ප ප්‍රාණීන් සියදිවි රැක ගත්තේ සමකයට නුදුරුව එම හිම තට්‌ටුව සිය වාස භූමිය කර ගැනීමෙනි. සමකය පිළිබඳ වැඩි දුර අධ්‍යයනයේ යෙදෙන්නේ නම් සමක රේඛාවේ දිග ප්‍රමාණය ගෝලයේ කුමන රටවල් ඊට සම්බන්ධ වන්නේද යන කරුණුත් ඇතුළුව දියුණු දැනුමක්‌ ලබා ගැනීමට en/.wikipedia.org/wiki/equator වෙබ් අඩවිය මූලිකව තවත් වෙබ් අඩවි රාශියකි.

එකී මහා අයිස්‌ සමයේදී දේශගුණය දැරිය නොහැකි අධික ශීතලයෙන් යුක්‌ත වූ අතර පොලෝ තලය හිම තට්‌ටුවකින් වැසී ගිය බැවින් පෘථිවි ගෝලය මුළුමනින්ම පාහේ ඇල්බිඩොවෙන් නොහොත් ධවල වර්ණයෙන් යුක්‌ත විය.

දේශගුණය වෙනස්‌ වීම සම්බන්ධයෙන් මෙය ඉතා වැදගත් සාධකයෙකි. අද්‍යතනව පවා මහ පොලොවට පතිත වන සූර්ය බල ශක්‌තියෙන් තුනෙන් එකකට කිට්‌ටු ප්‍රමාණයක්‌ නැවත අවකාශයට පරාවර්ථනය වන්නේ එවැනි හිම තට්‌ටුවලිනි.

සූර්යාලෝකයෙන් 5% - 10% අතර ප්‍රමාණයක්‌ ජලය මගින් පරාවර්තනය කරන නමුත් නොකිළිටි අලුත් හිම තට්‌ටුවක ධවල වර්ණයට සූර්යාලෝකයෙන් 80% - 90% අතර ප්‍රමාණයක්‌ පරාවර්තනය කිරීමට හැකිය.

මහ පොලොවෙන් යම්කිසි ප්‍රමාණයක්‌ හිමෙන් වැසී ගිය විට දැරිය නොහැකි ශීතලකින් මුළු පෘථිවියම වෙලී යැම දේශගුණයේ නිසඟ ලක්‍ෂණයකි. සාමාන්‍යයෙන් මෙම සිද්ධිය සිදු වන්නේ හිම තට්‌ටුව ධ්‍රැවයේ සිට සමකය දෙසට පැතිරෙන අතරතුර අක්‍ෂාංශක 30 (Latitude) එනම් නූතන ශැංහයි හෝ නිව් ඔර්ලියන්ස්‌ නගර පිහිටි මට්‌ටමට සමීප වීමේදීය. අක්‍ෂාංශක පිළිබඳ වැඩි දුර අධ්‍යයනයට en/.wikipedia.org/wiki/latitude වෙබ් අඩවිය පරිශීලනය කළ හැක.

වසර මිලියන 600 කට පෙර ආරම්භ වූ ප්‍රථම මහා අයිස්‌ සමය තවත් වසර මිලියන ගණනාවක්‌ ඒ අයුරින්ම ක්‍රියාත්මක විය. ඒ අතර වසර මිලියන 450 කට පෙර මුල් වරට ප්‍රාණීන් කාබනික ද්‍රව්‍යයන්ගෙන් සමන්විත අස්‌ථි පද්ධතියන්ගෙන් යුත් ජීවින් බවට පරිණාමය (Evolution) වීම ආරම්භ වීය. පරිණාමවාදය පිළිබඳ වැඩි දුර අධ්‍යනයේ යෙදෙන්නේ නම් චාල්ස්‌ ඩාවින්ගේ On the Origin of Species කෘතියද en/.wikipedia.org/wiki/evolution වෙබ් අඩවිය පරිශීලනය කළ හැක.

මෙම ක්‍රියාවලියට හේතුව ජීවින් සමුද්‍ර ජලයේ අන්තර්ගත කාබන්ඩයොක්‌සයිඩ් වායුව අවශෝෂණය කිරීමට පටන් ගැනීමය. මේ ආකාරයට අලුත් ආකාර ජීවින් විකාශය වීම වායු ගෝලයේ කාබන්ඩයොක්‌සයිඩ් ප්‍රමාණය ක්‍රමිකව වර්ධනය වීමටද හේතු වී ඇත. මෙතැන් සිට දීර්ඝ අයිස්‌ සම ක්‍රියාවලිය ක්‍රම ක්‍රමයෙන් අඩුවිය. ඊළඟ මහා අයිස්‌ සම ත්‍රිත්වය ආරම්භ වන්නේ වසර මිලියන 355 කට 280 කට සහ අවසන් වරට මීට වසර මිලියන 33 කට පෙරදීය.

උක්‌ත සියලු වෙනස්‌කම් අතරතුර වායු ගෝලීය උෂ්ණත්වය පාලනයට බලපෑ හේතුන්ද ඇතුළු නොයෙක්‌විධ ක්‍රියාවන් නිසා නොයෙකුත් මාදිලියේ වෙනස්‌ වීම් වලට පෘථිවි ගෝලය භාජන විය. මෙයින් වසර 354 සිට 290 දක්‌වා කාල පරිච්ඡේදයේදී කාබොනිෆරස්‌ හෙවත් අංගාරධර අවධිය (Carboniferous Period)) නමින් හැඳින්වෙන අවධියේදී, අද්‍යතනව මිනිස්‌ සංහතියම බලශක්‌තිය සඳහා බෙහෙවින් පරිශීලනය කරන ගල් අඟුරු නිධීන්ට හේතුකාරක වූ ප්‍රාථමික වනගහනයන්ගෙන් මහපොලොව ප්‍රථම වරට ගහන විය. ඉහත සඳහන් කළ කාබොනිෆරස්‌ අවධිය හා ප්‍රාථමික වනගහනය පිළිබඳ වැඩි විස්‌තර ද, කාබොනිෆරස්‌ සිව්පාවුන් හා එම යුගයේ විචිත්‍ර රූප සටහන් අධ්‍යයනය කිරීමටත් කාබොනිෆරස්‌ යුගයේ පැළෑටි පිළිබඳ අවබෝධයක්‌ ලබා ගැනීමට (Carboniferous, animals, plants,
pictures, සහ Forests) en.wikipedia.org/wiki වෙබ් අඩවිය ඇතුළු අඩවි රාශියක දැනුම සොයා ඔබට විචිත්‍රව නිදහසේ පියාසර කළ හැකිය. අංගාරධර වනාන්තර (Carboniferous Forests) පිළිබඳ මිචිගන් විශ්වවිද්‍යාලයීය මහාචාර්ය රැල්ෆ් ඊ. ටැගර්ට්‌ගේ වෙබ් අඩවියේ සැරිසැරීම ඉතා වැදගත්ය. (Carboniferous Forests, Department of Plant Biology. Department of
Geological Sciences, Michighan State University,
Professor Ralph E. Taggert) පසු කලෙක ගල් අඟුරු ලෙසින් සංගත වූ කාබන් ප්‍රමාණය ඉන් පෙර දී වායුගෝලයේ කාබන් ඩයොක්‌සයිඩ් වශයෙන් සංසරණය වූ බැවින් ප්‍රාථමික වනගහනයෙන් නොඅනුමානයෙන්ම පෘථිවි කාබන් චක්‍රයේ සංයුතිය කෙරෙහි දැඩි ලෙස බලපාන්නට ඇත.

අනෙක්‌ විවිධ සත්ත්ව වර්ගවල විකාශයද පෘථිවියේ කාබන් චක්‍රය (Carbon Cycle) කෙරෙහි සැලකිය යුතු ලෙස බලපාන ලදී. උදා- වසර මිලියන 55 කට පමණ පෙර සිට සුවිශාල කොරල් පර බිහිවන්නට පටන් ගත්විට වායු ගෝලයේ පැවැති කාබන්ඩයොක්‌සයිඩ් ප්‍රමාණයෙන් අති මහත් කොටසක්‌ ඒ මගින් අවශේෂණය කරගෙන ඇත. එම ක්‍රියාවලිය හේතුවෙන් එකල පෘථිවියේ සිසිලද වර්ධනය වී ඇත.

ඉංග්‍රීසි ජාතික දේවධර්ම වාදියෙකු, දේශපාලන චින්තකයකු, අධ්‍යාපනඥයකු, දාර්ශනකියෙකු වූ ජොසෙප් ප්‍රිරිස්‌ට්‌ලි ඇතුළු තවත් විද්‍යාඥයන් දෙදෙනකු විසින් කාබන් චක්‍ර ක්‍රියාවලිය සොයා ගන්නා ලදී. Joseph Priestly විසින් ඔක්‍ෂිජන් (Oxygen) හා සෝඩා වතුරද සොයාගත් අතර කාබන් චක්‍රය පිළිබඳ වැඩිදුර අධ්‍යයනට අන්තර් ජාලයේ en/.wikipedia/org/wiki/- carbon cycle වෙබ් අඩවියද Joseph Priestly පිළිබඳ අධ්‍යයනය කිරීමට en/.wikipedia/org/wiki/joseph priestly වෙබ් අඩවියේ පියාසර කිරීමෙන් ජෝශප් ප්‍රිරිස්‌ට්‌ලි විසින් රචිත The Rudiments of English Grammar කෘතිය පිළිබඳ හා අනෙකුත් විද්‍යා හා ශ්‍රාස්‌ත්‍රිය කටයුතු පිළිබඳ අධ්‍යයනය කළ හැකිවනු ඇත.

දැවයෙන් සමන්විත වනාන්තර තරමටම තෘණ වර්ග කාබන් වලින් ගහන නැති නමුත් වසර මිලියන 07-08 කට පෙර විවිධාකාර තෘණ පැළෑටිවල විකාශය හා පැතිරයැමද යම් ප්‍රමාණයකට දේශගුණය වෙනස්‌ වීමට හේතු වන්නට ඇතැයි විද්‍යාඥයන්ගෙන් නිගමනයයි. කෙසේ වෙතත් කාබෝනිෆරස්‌ වන ගහනය තරම්ම තෘණ වර්ග ආලෝකය අවශෝෂණය කර ගැනීමට හෝ ජල වාෂ්ප නිපදවීමට සමත් නැත. ජල වාෂ්ප නිපදවීමේ හැකියාව දේශගුණය සම්බන්ධයෙන් වැදගත් සාධකයක්‌ වන්නේ ක්‍ෂද්‍ර ජලාංශු හරිතාගාර වායුවක්‌ මෙන් ක්‍රියාකරන බැවින් හා වලාකුළු ජනිත කිරීමට ජල වාෂ්ප අංශු හේතුවන බැවිනි.

අනෙකුත් සාධක අතර වසර මිලියන 20 ක පමණ කාලකට පෙර සිට ඔස්‌ටේ්‍රලියාව හැරුණු විට අනෙකුත් මහාද්වීප සිසාරා සැරිසරමින් වන ශාක පත්‍රාදිය ආහාරයට ගත් දැවැන්ත අලි, ඇත් රංචුද දේශගුණික වෙනස්‌ වීම් සඳහා හේතු වන්නට ඇත.

මෙවැනි සාධක දේශගුණය කෙරෙහි කොපමණ දුරට බලපානු ඇතිදැයි නිසැකවම පැවැසීමට අවශ්‍ය පර්යේෂණයක්‌ නැති අතර සමස්‌තයක්‌ වශයෙන් ගත් කල ශාක සහ සත්ත්වයන්ගේ හැසිරීම, හැඩ ගැසීම් හා ගැවසීම් දේශගුණික වෙනස්‌කම්වලට හේතු කාරක වූ බව නිසැකයෙන්ම පැහැදිලි වී ඇත.

දේශගුණය තීරණය වීමේදී ඒ සම්බන්ධයෙන් බලපාන විවිධ හේතු සාධක අතර අන්තර් සම්බන්ධතාවක්‌ පැවැතීම ස්‌වභාවයකි. එබැවින් දේශගුණයේ අනාගතය අවබෝධ කර ගැනීමට නම් අපේ වායු ගෝලය අතීතයේදී හැසිරුණු ආකාරය හැකිතාක්‌ දුරට වටහා ගැනීම අත්‍යවශ්‍යය.

වායුගෝලය සුවිශේෂ ස්‌ථර 04 කට වෙන් කළ හැකිය. සමස්‌ත වායු ගෝලය පිරී ඇති වායුවලින් 80% ක්‌ පමණ ඇත්තේ පොලෝතලය මතුපිට ඇති ට්‍රොපොෂ්පියරය (Troposphere) හෙවත් පර්වර්තී ගෝලය නමින් හැඳින්වෙන මිනිසා ජීවත් වන වායු ස්‌ථරයේය. උක්‌ත ට්‍රොපොෂ්පියරය පොලොව මතුපිට සිට කිලෝ මීටර් 15 ක්‌ පමණ අහසට උසය. එහෙත් මුළු වායුගෝලයෙන් ආශ්වාස කළ හැකි වාතය ගැවසෙන්නේ ට්‍රොපොෂ්පියරයේ මුල්ම කිලෝ මීටර් 03 ක දුරට පමණි. අනෙකුත් ස්‌ථරයන් හා සසඳන විට ට්‍රොපොෂ්පියරයේ විශේෂ ලක්‍ෂණයක්‌ වනුයේ එහි පතුලේ සිට ඉහළට යැමේදී උෂ්ණත්වය ක්‍රමිකව අඩුවී යැමයි.

ඉහළට යන සෑම කිලෝ මීටර්යකදීම ට්‍රොපොෂ්පියරයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේට්‌ අංශක 6.5 කින් අඩුවේ. අනෙක්‌ සුවිශේෂි කරුණ වනුයේ වායුගෝලයේ එකිනෙක මිශ්‍ර නොවන එකම කලාප දෙක සමකයෙන් බෙදුණු ට්‍රොපොෂ්පියරයේ උත්තරාර්ධය හා දක්‍ෂිණාර්ධය වීමයි. මානව ක්‍රියාකාරකම් හේතුවෙන් වඩා අපිරිසිදුව ඇති උත්තරාර්ධ ගෝලයේ වාතය ආඝ්‍රාණය කිරීමට දක්‍ෂිණාර්ධ ගෝලයේ ජීවත්වන සත්ත්වයන්ට ඇති ඉඩකඩ සීමා සහිතය. පර්වර්තී ගෝලය නොහොත් Troposphere පිළිබඳ අධ්‍යනය කිරීමට en/.wikipedia.org/wiki/Troposphere යන වෙබ් අඩවිය ඇතුළු විෂයට අදාළ කරුණු ඇතුළත් වෙබ් අඩවි රාශියකි.

ට්‍රොපොෂ්පියරයෙන් ඔබ්බට ඇති ස්‌ථරය ස්‌ට්‍රැටොෂ්පියරය (Stratosphere) හෙවත් ස්‌ථරගෝලය යන නමින් හැඳින්වේ. ට්‍රොපොෂ්පියරය මෙන් නොව ස්‌ට්‍රැටොෂ්පියරයයේ ඉහළට යන පමණට උෂ්ණත්වය අනුක්‍රමයෙන් අධික වේ.

ස්‌ට්‍රැටොෂ්පියරය ප්‍රචණ්‌ඩ මාරුතයන්ගෙන්ද ගහනය. වායුගෝලයේ ස්‌ට්‍රැටොෂ්පියරයට ඉහළ ඇති ස්‌ථරය මෙසෝෂ්පියරය (Mesosphere) හෙවත් ශීත ගෝලය යන නමින් හැඳින්වේ. පොළොවේ සිට කිලෝ මීටර් 50 ක පමණ ඉහළින් පිහිටා ඇති මෙසෝෂ්පියරය වායු ගෝලයේ ඇති ශීතලයෙන් අධිකතරම ස්‌ථරයයි. එහි ශීතල සෙන්ටිග්‍රේඩ් අංශක සෘණ - 900 කි. ඉන් ඉහළ ඇති අවසාන සෘණ ස්‌ථරය තාපගෝලය හෙවත් තර්මෝෂ්පියරය (Thermosphere) යන නමින් හඳුන්වා ඇත. අභ්‍යවකාශය දක්‌වා පැතිරෙන තර්මෝෂ්පියරය ඉතා තුනී වායු පටලයකින් යුක්‌ත වු නමුත් එහි උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 1700 දක්‌වා ඉහළ යැමට හැකිය. කෙසේ වෙතත් වාතයේ අධික තුනී බව හේතුවෙන් තර්මෝෂ්පියරයේදී උෂ්ණත්වය සංවේදනය කිරීමට අපහසුය.

වායුගෝලය නොහොත් උක්‌ත "මහා ගගන සාගරයේ සංයුතියෙන් 78% කට නියෝජනය් වනුයේ නයිට්‍රජන් වායුවයි. ඊට අතිරේකව 20.8% ක්‌ ඔක්‍ෂිජන් වායුවද, ආර්ගන් වායුව 0.9% ක්‌ද ඊට ඇතුළත්ය. අප ආශ්වාස කරන වාතයෙන් 99.95% කම සමන්විත වන්නේ උක්‌ත වායු ත්‍රිත්වයෙනි. වායු ගෝලයේ ජල ධාරිතා සංඛ්‍යතාව තීරණය කරනු ලබන්නේ වායු ගෝලීය උෂ්ණත්වය මගිනි. වායුගෝලයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 25û වන විට අප ආශ්වාස කරන වාතයෙන් 3% ක්‌ ජල වාෂ්පයෙන් සමන්විත වේ.

අපේ ප්‍රස්‌තුතය වන දේශගුණ විපර්යාසයට වඩාත්ම වැදගත් වන්නේ වායුගෝලයේ කුඩාම සංයුතිය වන ඉතිරි වායුය. ප්‍රමාණාත්මක වශයෙන් සැලකුවහොත් කාබන් ඩයොක්‌සයිඩ්ද ඇතුළුව උක්‌ත වායු සියල්ල වායු ගෝලයේ සමස්‌ත සංයුතියෙන් 1% කිනුත් 20 පංගුවකට වැඩි නොවේ.

උදා(- උක්‌ත අල්ප වායු අතරේ එක වායුවක්‌ වන ඕසෝන් වායුව ගැන විමසා බැලීමේදී ඕසොන් වායුව ඔක්‍ෂිජන් පරමාණු ත්‍රිත්වයකින් නිර්මාණය වී ඇත. වායු ගෝලයේ වායු අණු මිලියනයක්‌ ගතහොත් එයින් ඕසෝන් අණු ඇත්තේ දහසකට නොවැඩි ගණනකි. එහෙත් ඒසා අල්ප වුවද ඒ සියයට 0.001 වූ ඕසෝන් වායු ප්‍රමාණයෙන් වායු ගෝලය තොර වී නම් සූර්යයාගෙන් නිකුත්වන පරාජම්බූල කිරණ (Ultra-violet) හේතුවෙන් නිසැකයෙන්ම මිනිසා අන්ධ බවට පත්වීමත්, මානව ජානවල ව්‍යාධි ඇතිවීමත් සමේ පිළිකා හා තවත් නොයෙකුත් රෝගවලට ගොදුරු වීමත් වැළැක්‌විය නොහැක. 1801 දී ජර්මන් ජාතික භෞතික විද්‍යාඥයෙකු වන ජොන් විල්හෙලම් රයිටර් විසින් අල්ට්‍රා වයලට්‌ කිරණය හඳුනා ගන්නා ලදී. (German, Physicist Johan Wilhelm Ritter 1775-
1810) අද්‍යතනව ඉතා වේගවත්ව මිනිසා ගිලන් කරවන අල්ට්‍රා වයලට්‌ හිරු කිරණ පිළිබඳ විවිධ තොරතුරු හා එමගින් ඇතිවන රෝග පිළිබඳ දැන ගැනීමට en/.wikipedia/org/wiki/ultra-violet වෙබ් අඩවිය ප්‍රමුඛව තවත් වෙබ් අඩවි සිය ගණනකින් ඔබට දැනුවත් විය හැකිය.

පෘථිවි ගෝලයේ විශාලත්වය හා සැසඳීමේදී මානවයා ඉතා කුඩා කෘමින් හා සමානය. එබැවින් එවැනි කුඩා අපගේ ක්‍රියාවලියන් හේතුවෙන් වායු ගෝලයට කුමන හෝ ආපදාවක්‌ හිරිහැරයක්‌ වන්නේ කෙසේදැයි මිනිසාට සිතීම සාමාන්‍යය වුවත් පෘථිවිය පාපන්දුවකට සමාන කළොත් ප්‍රමාණයෙන් වායුගෝලය ඒ පන්දුව වටා එතූ පත්තර කොලයකට නොවැඩිය. මිනිසාගේ ආශ්වාසයට සුදුසු වාතය වුවද පොළෝ තලයේ සෑම අඟලකම එක සමානව නොමැති බව අපි දනිමු. එවරස්‌ට්‌ කන්ද තරණය කරන්නන් ආශ්වාසය සඳහා ඔක්‍ෂිජන් රැගෙන යැම ඊට කදිම උදාහරණයෙකි.

පියවි ඇසින් බැලූවිට වායුගෝලයේ දැවැන්ත බවක්‌ පෙනුනද වායුගෝලයේ ඇති සමස්‌ත වායු ප්‍රමාණය ඝණීභවනය කොට ද්‍රව බවට පත්කළහොත් එහි ප්‍රමාණය සාගර ජලස්‌කන්දයෙන් පන්සියයකින් එක කොටසකට වඩා වැඩි නොවේ. වායුගෝලයේ මේ නිසඟ ලක්‍ෂණ නිසා එහි ඇති වාතය දූෂණය වීම, ඕසොන් සිදුර (Ozone Hole), අම්ල වර්ෂා (Acid Rain) සහ දේශගුණ විපර්යාසය - වැනි මානව වර්ගයා මුහුණ දෙන බරපතලම පරිසර ගැටලු වලට හේතුවී තිබේ.

වායු ගෝලය බෙහෙවින් ක්‍රියාශීලීය. ඔබ ප්‍රශ්වාස කළ වාතය වායුගෝලය තුළ සැනෙන් බොහෝ දුර කතර ගෙවනු ඇත. පෙර සතියක ඔබේ හුස්‌මෙන් පිටවූ කාබන් ඩයොක්‌සයිඩ් මේ වනවිටත් දුරු රටක ගහකොලවලට හෝ ශීතල සාගරයක ජීවත්වන ප්ලවාංග යනුවෙන් හැඳින්වෙන ක්‍ෂුද්‍ර ප්ලැන්ක්‌ටනයන්ට (Plankton) ආහාර වී හමාරය. ඔබ මේ අවස්‌ථාවේ ප්‍රශ්වාශ කළ වාතය ඉදිරි මාස දෙකක්‌ ඇතුළතදී සමස්‌ත පෘථිවි ගෝලය වටාම සංසරණය කරවීමට තරම් වායුගෝලය සක්‍රීයය.

එකම කාල පරාසයකදී වායුගෝලයේ ඇතිවෙන වෙනස්‌කම් විවිධ ප්‍රදේශවලට එකිනෙකට වෙනස්‌ ප්‍රථිඵල අත්කරවන සුළුය. මොහොතකින් එකිනෙකට වෙනස්‌ දේශගුණික ස්‌ථාවරයකින් තවත් දේශගුණික තත්ත්වයකට මාරුවීමට වායු ගෝලයට හැකියාව ඇත. වායු ගෝලය සතු උක්‌ත හැකියාව නිසා සුළි සුළං, නියඟ, ගංවතුර හෝ සුළං ප්‍රවාහ විවිධ පළාත්වල එකම විටකදී හෝ මාරුවෙන් මාරුවට හෝ ඇති විය හැකිය.

වායු ගෝලයේ ඉතාමත් වැදගත් ක්‍රියාවලියක්‌ වනුයේ බොහෝ විකිරණ ශක්‌තින් (Radiative Energy) මහ පොළොව මත පතිත වන්නේ දිවා කාලයේ අපගේ පියවි ඇසට පෙනෙන සූර්යාලෝකය මගින් පමණක්‌ බවයි. එහෙත් දිවා ආලෝකය යනු සූර්යාගෙන් අප වෙත නිකුත් කරන විශාල කිරණ පරාසයකින් කුඩා ප්‍රමාණයකි.

වායුගෝලයේ ඇති හරිතාගාර වායු මගින් ඉහත කී කිරණ පරාසයෙන් වඩා දැඩි කදම්බයන්ගෙන් යුතු කිරණ අප කරා විකිරණය වීම වළක්‌වනු ලබයි. මේ ක්‍රියාවලියේදී හරිතාගාර වායු අස්‌ථායි බවට පත්වෙන අතර කලින් ඇද හිරකරගත් රශ්මිය එහි ප්‍රථිඵලයක්‌ වශයෙන් නැවත මුදා හැරේ. මෙසේ මුදා හරින රශ්මියෙන් කොටසක්‌ නිතැතින්ම මහ පොළොව දෙසට පතිත වේ. කාබන් ඩයොක්‌සයිඩ් ද ඇතුළුව වායු ගෝලයේ ඇති සියලුම හරිතාගාර වායු ප්‍රමාණාත්මික වශයෙන් අල්ප නමුත් ඉහත කී හේතුව නිසා ඒ වායු මගින් දේශගුණය කෙරෙහි ඇති කරන බලපෑම අති මහත්ය.

හරිතාගාර වායු සංයුතිය නිසි ලෙස පැවැති විට ඒ මගින් පෙරා පොළොවට මුදා හැරෙන රශ්මි ප්‍රමාණය පොළෝ වාසීන්ට අවශ්‍ය කරන තරමින් පොළොවට ආසන්නව උණුසුම පවත්වා ගෙන යැමට උපකාරි වේ. එහෙත් හරිතාගාර වායු ප්‍රමාණය පමණට වඩා වැඩි වූ විට පෘථිවි පරිසරය රත්වීම නොහොත් ගෝලීය උණුසුමට එම ක්‍රියාවද බලපානු ඇත.

හරිතාගාර වායුන්ගේ සංයුතිය කොතෙක්‌ දුරට වායුගෝලයේ උෂ්ණත්වය කෙරෙහි බලපාන්නේ දැයි යන කාරණය අප අවට ඇති ග්‍රහලෝක පිළිබඳ විමසා බැලීමෙන්ද වටහා ගත හැකිය. උදා(- සිකුරු හෙවත් වීනස්‌ තාරකාවේ වායුගෝලයෙන් 98% ක්‌ම කාබන්ඩයොක්‌සයිඩ් වලින් සමන්විත වන අතර එම හේතුව නිසා වීනස්‌ තාරකාවේ පෘෂ්ඨිය මතුපිට උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 477 කි. මෙය පාන් පුළුස්‌සන පෝරණුවක ඇති සාමාන්‍යය උෂ්ණත්වය මෙන් 03 ගුණයකට කිට්‌ටුය.

වාතයේ ඇති මුළු කාබන් ඩයොක්‌සයිඩ් ප්‍රමාණය අපේ වායු ගෝලයේ සමස්‌ත සංයුතියෙන් 1% ක්‌ දක්‌වා වැඩිවුව හොත් එම හේතුව නිසා පෘථිවිය මතුපිට උණුසුම ජලය නටන තාපාංකය වන සෙන්ටිග්‍රෙඩ් 100 දක්‌වා ඉහළ නගිනු ඇත.

වායු ගෝලයේ ඇති ජල වාෂ්පද අපේ ප්‍රස්‌තුතය සම්බන්ධයෙන් තවත් අතිශයින් වැදගත් සාධකයෙකි. මන්ද ජල වාෂ්ප වළාකුළු බවට පත්ව සූර්ය විකිරණයන් පරාවර්ථනය කරමින් දිවා කාලයේදී පොළොව මතුපිට උණුසුම පාලනය කිරීමට දායක වන බැවිනි. එහෙත් රාත්‍රි කාලයේදී ජලවාෂ්ප හා වළාකුළු වාතයේ ආර්ද්‍රතාව (Humidity) වැඩි කරමින් වායුගෝලය තුළ උෂ්ණත්වය රඳවා ගනී.

කාබන්ඩයොක්‌සයිඩ් හා ජල වාෂ්ප වායුගෝලයේ අන්තර් ක්‍රියාකාරිත්වය ඉතා වැදගත් කරුණකි. කාබන්ඩයොක්‌සයිඩ් සංයුතිය මදකින් ඉහළ ගිය විට වායුගෝලයේ උණුසුමද මඳකින් ඉහළ යයි. එවිට උණුසුමට සාපේක්‍ෂව වායු ගෝලයේ ජල වාෂ්ප ධාරිතාවයද ආර්ද්‍රතාවයද ඉහළ යනු ඇත. මෙම ක්‍රියාවලිය තවදුරටත් උණුසුම තීව්‍රවීමට බලපායි. එම නිසා වායුගෝලයේ ඇති කාබන්ඩයොක්‌සයිඩ් සංයුතිය නිසැක වශයෙන්ම අපේ දේශගුණය උඩු යටිකුරු කරන ලීවරය වශයෙන් සැලකිය හැකිය.

ලක්‍ෂ සංඛ්‍යාත ශාක, සත්ත්ව ජීවින් දිරා පත් වී පොළොවට ජීර්ණය වනවිට නිකුත්වන කාබන් ඩයොක්‌සයිඩ්වලට අතිරේකව විශේෂයෙන්ම කාර්මික යුගය ආරම්භයේ සිට පසුගිය දශක ගණනාව තුළ අප විසින් එදිනෙදා දවා ලූ ඉමහත් කාබනික බල ශක්‌ති ප්‍රමාණය වායු ගෝලයේ කාබන් ඩයොක්‌සයිඩ් ප්‍රතිශතය කෙරෙහි ඉතා අනතුරුදායක ලෙස බලපා ඇත.

උක්‌ත කරුණු මිනිසා නිශ්චය වශයෙන්ම දැන ගත්තේ දේශගුණ විද්‍යාඥයෙකු වන චාර්ලස්‌ කිලීන්ගෙනි(Charles David Keeling ^1928 -
2005$ Climate Science Pioneer) කිලීන්ගේ චක්‍රයෙන් පෙන්වන අතිශයින්ම වැදගත් කාරණය නම් වායු ගෝලයේ ඇති කාබන්ඩයොක්‌සයිඩ් ප්‍රමාණයේ සමස්‌ත සංයුතිය වසරක්‌ පාසා ක්‍රමිකව ඉහළ යැමයි. 1960 දී වායු කොටස්‌ මිලියනයක තිබූ කාබන් ඩයොක්‌සයිඩ් ප්‍රමාණය කොටස්‌ 320 කට අඩු වූ අතර 2006 වන විට එම ප්‍රමාණය කොටස්‌ 380 ක්‌ විය.

ගල් අඟුරු, ඛනිජ තෙල් වැනි ෆොසිල ඉන්ධන (Fossil-Fuel) මගින් යෑපෙන අද්‍යතන මානව ශිෂ්ටාචාරය හා පෘථිවි ගෝලය බලවත් ව්‍යසනයක්‌ කරා ගෙනයන බව ප්‍රථම වරට නිසැකයෙන්ම ලොවට අනාවරණය කළේ චාර්ල්ස්‌ කිලීන්ගේ චක්‍රය මගිනි. ඛනිජ විද්‍යාවේ පියා වශයෙන් සැලකෙන ජියෝගියර්ස්‌ ඇග්රි කෝලා 1494-1555 ෆොසිල ඉන්ධන පිළිබඳ ලොවට අදහස්‌ ඉදිරිපත් කළ ප්‍රථමයාය. (Georgius
Agricola, The Father of Mineralogy) එසේම සජීවි ඛනිජ ද්‍රව්‍ය නිHdය පිළිබඳවත් ඊට සමගාමී අනෙකුත් සොයාගැනීම් හා තොරතුරු අධ්‍යනය කිරීම සඳහා en/.wikipedia.org/wiki/fossil-fuel වෙබ් අඩවිය මූලිකව වෙබ් අඩවි රාශියක ඔබට පියාසර කළ හැකිය.

මිනිසාගේ වර්තමාන බලශක්‌ති පරිභෝජන රටාව හා බලශක්‌ති ප්‍රබව එලෙසම තබාගෙන අද්‍යතන දත්තයන් මත කීලින්ග් චක්‍රය 21 වන සියවසේ මැද භාගය දක්‌වා ප්‍රක්‌ෂේපණය (Projection) කළහොත් ඒ වනවිට වායු ගෝලයේ කාබන්ඩයොක්‌සයිඩ් ප්‍රමාණය නොහොත් සංයුතිය දෙගුණයකින් ඉහළ යැමට ඇති ඉඩකඩ වැඩිය.

එහි ප්‍රථිඵලය වශයෙන් මිනිස්‌ සංහතියේ වාසභූමිය වූ පෘථිවි ගෝලයේ උෂ්ණත්වය අවම වශයෙන් සෙන්ටිග්‍රේඩ් 3 - 6 දක්‌වා වර්ධනය වීමයි.

වායු ගෝලයේ කාබන් ඩයොක්‌සයිඩ් ප්‍රතිශතය දේශගුණය කෙරෙහි ඉමහත් ලෙස බලපාන බව මුල් වරට දැනගත් විට බොහෝ විද්‍යාඥයෝ මවිතය පළ කළහ. මන්ද වායු ගෝලයේ සමස්‌ත සංයුතියෙන් ඉතා අල්පයක්‌ වූ කාබන්ඩයොක්‌සයිඩ් මුළු මහත් පෘථිවියේ පරිසර පද්ධතියට තීරණාත්මක ලෙස බලපාන්නේ කෙසේ දැයි වටහා ගැනීම මුලදී ගැටලු සහගත වූ බැවිනි.

එහෙත් ප්‍රබල හරිතාගාර විපාක කාරකයක්‌ වන ජල වාෂ්ප කෙරෙහි වේගවත් උත්තේජකයක්‌ ලෙස කාබන්ඩයොක්‌සයිඩ් ක්‍රියාකරන බව වටහා ගත් විට විද්‍යාඥයන්ට සියල්ල සක්‌සුදක්‌සේ පැහැදිලි වන්නට විය.

ඊළඟ කලාපයට.....

දේශප්‍රිය නානායක්‌කාර

1 comment: