Monday, December 24, 2012

දේශීය කෘෂි සංස්‌කෘතියේ අලුත් මුහුණුවර

දේශීය කෘෂි සංස්‌කෘතියේ අලුත් මුහුණුවර පෙර අපරදිග ජාතීන් අතර ඉතා ඈත අතීතයකට උරුමකම් කියන සිංහල ජාතියේ ගොවි ජීවන රටාව ශ්‍රේෂ්ඨ සංස්‌කෘතියක්‌ද අභිමානවත් සම්ප්‍රදායන් රාශියක්‌ද සමගින් ප්‍රගමනය වී ඇත. එම මහා කෘෂි සංස්‌කෘතිය එදා ආදී ජාතියේ වර්ණවත් ප්‍රෙෘඪ ඉතිහාසයක්‌ නුදුරු අනාගත තාක්‍ෂණික ලෝකයේ දේශීය, සමාජ, ආර්ථික, විකාශයන්ගේ දැවැන්ත අභියෝගවලටත් මුහුණ දෙනුයේ පූර්වාදර්ශ සමගිනි. එදා මහා කෘෂි සංස්‌කෘතියේ පූර්වාදර්ශය වූයේ ගොවි ජන සංස්‌කෘතිය පාරිසරික තුල්‍යතාව පිළිබඳ දැක්‌ වූ අසමසම බැඳීමය. එය ස්‌වභාව දහම සමග නොගැටී තියුණු ජනසමාජ ක්‍රියාකාරකම් සමග සුන්දරත්වයෙන් අත්වැල් බැඳගෙන කටයුතු කරලීම සැබැවින්ම මානව සංහතියේ වාසනාවකි. සමස්‌ත සහෝදර ජනයාගේ ද ග්‍රහලෝක පරිණාමයේද අනාගතය දෙස වඩා තීව්‍රර ලෙස කල්පනා කරලමින් යුක්‌ති සහගත ලෙස සියල්ල බෙදා හදාගෙන කටයුතු කර ඇති ආකාරය විශ්මය දනවන සුළුය. එම මහා සංස්‌කෘතියේ අභිමානවත් සුපැහැදිලි තියුණු දැක්‌ම මානව සංහතියේ ඉදිරි අනාගතයට පුර්වාදර්ශයක්‌මය. ශ්‍රී ලංකා මාතාවගේ ජීවනාලිය ලෙස ශත වර්ෂ ගණනක්‌ පුරා පැවතුන මහා කෘෂි සංස්‌කෘතිය සිංහල ජාතියේත් ලාංකිකයන්ගේත් ජීවිතවලට වඩාත් පරිපූර්ණ පුර්වාදර්ශ ඇති සංස්‌කෘතියයි. එම යහපත් විචිත්‍රවත් ඉදිරි දැක්‌මක්‌ සහිත ස්‌වභාදහම සමග ඒකාත්මක වූ දේශීය කෘෂිකර්මාන්තයට පළමු අභියෝගය එල්ල වූයේ බටහිර සිතුම් පැතුම් වෙත මුළුමනින්ම පදනම් වූ වාණිජ වතු කෘෂිකර්මාන්තය 19 වැනි සියවසෙහිදී බලහත්කාරයෙන් ලක්‌ මාතාවට හඳුන්වා දීමත් සමගය. රජ දවස ගොවි කෘෂිකර්මාන්තය රාජ්‍ය අනුග්‍රහයෙන් පරිපූර්ණ ලෙස හැදීවැඩුණද උක්‌ත වාණිජ වතු කෘෂිකර්මාන්තය හේතුවෙන් අධිරාජ්‍යවාදීන්ගේ කූඨ පරිපාලනය යටතේ අපේ හදවත බඳු ගැමි කෘෂිකර්මාන්තය රාජ්‍ය අනුග්‍රහයෙන් අමු අමුවේ ගලවා විසිකරන්නට යෙදිණි. උක්‌ත වාණිජ කෘෂිකර්මාන්තය ඉපිලීම හේතුවෙන් දේශීය කෘෂිකර්මාන්තය අභියෝගයවලට ලක්‌වී යටපත් වී දේශීය කෘෂි ආර්ථිකය කොටස්‌ දෙකකට බෙදා වෙන් කෙරිණි. එය දේශීය කෘෂි කර්මාන්තය හා අපනයන කෘෂි කර්මාන්තය වශයෙනි. මෙම කර්මාන්ත දෙක අතර තිබූ ප්‍රබලම නොගැලපීම වූයේ එකිනෙක අතර කුමන හෝ පෝෂිත වීමක්‌ නොතිබීමය. සොබාදහමටත් ලක්‌ මාතාවටත් මහත්සේ ලැදියාවකින් කටයුතු කළ දේශීය කෘෂිකර්මාන්තයටත්, සොබාදහමේ තුල්‍යතාවට පීඩාකාරී ලෙස අභියෝග කරමින් නඩත්තු කළ වතු කෘෂිකර්මාන්තයත් අතර තිබුණේ අහස පොළොව මෙන් වූ නොගැලපීම්ය. කෙසේ වෙතත් වර්තමාන මහා කෘෂි සංස්‌කෘතිය ගෝලීය අභියෝග හමුවේ නැඟê සිටීමට වෙරදරන බව පෙනෙන්ට ඇත. ශ්‍රී ලාංකීක මහා කෘෂි සංස්‌කෘතිය පවත්වාගෙන යැම සම්බන්ධයෙන්ද පවතිනුයේ ප්‍රබල අභියෝගාත්මක පරිසරයකි. ශත වර්ෂ ගණනක්‌ ඉතා සාර්ථකව අභ්‍යාස කරන ලද අපේ මහා කෘෂි සංස්‌කෘතිය විස්‌මිත වූ සාම්ප්‍රදායික ගොවි කෘෂි කර්මාන්තයේ තවදුරටත් ඔබ්බට ඉපිලී ගෝලීය නිෂ්පාදකයාට මුහුණ දිය හැකි තිරසර ක්‍රමානුකූල යාන්ත්‍රණයක්‌ ගැන අවධානය යොමු කළ යුතුය. නූතන කෘෂිකර්මාන්තයේ මතුපිටින් පෙනෙන්නට තිබෙන මූලික ගැටලුව වනුයේ නිෂ්පාදකයාට, ගොවියාට අඛණ්‌ඩ වූ ආර්ථික ප්‍රතිලාභයක්‌ ලබාගැනීමට තිබෙන අපහසුතාවයි. රට පාලනය කරන ආණ්‌ඩු විසින් වරින් වර ආනයන, අපනයන, ප්‍රතිපත්ති හා ඒවා සම්බන්ධ බදු අයකරගැනීමේ ක්‍රියාවලියේ හැඩ රුව උක්‌ත ගොවියාට යහපත් ආර්ථිකයක්‌ ලබාදීමේ මෙහෙවරට තියුණු ලෙස පීඩාකාරීව බලපා ඇත. ගොවිජනතාවට යහපත් ආර්ථිකයක්‌ ලබාදීමට නම් ගෝලීය සන්දර්භය තුළදී දේශීය කෘෂි කර්මාන්තයේ වටිනාකම් තවදුරටත් විකාශය කරගත යුතු අතරම නවීකරණයෙන් උකහාගත් දේශීය උපාය මාර්ගයන් සහිතව ජාතික වැඩ පිළිවෙළකට ලාංකිකයන් මුල්ගල තැබිය යුතුව ඇත. කෙසේ වෙතත් වසර 2006-2016 අතර කාලය තුළදී කෘෂි කාර්මික අංශයේ වර්ධනය 1.5% සිට 4.5% දක්‌වා වැඩි කරලීමට දස අවුරුදු දැක්‌මෙන් යෝජිතය. මහින්ද චින්තනය අනුව වූ දස අවුරුදු දැක්‌මට අදාළ ක්‍රියාකාරකම් හමුවේ. 2008 වර්ෂයේ වී නිෂ්පාදනය යල මහ දෙකන්නයේම වාර්තා තබා ඇත. එය 7.8% ක වර්ධනයකි. 2008 වර්ෂයේ වී නිෂ්පාදනය අතිවිශේෂ වර්ධනයක්‌ පෙන්නුම් කරමින් මෙටි්‍රක්‌ ටොන් දස ලක්‍ෂ 1.75 ක්‌ දක්‌වා 51% කින් ඉහළ ගොස්‌ ඇත. එය නිදහසින් පසු ලැබූ දෙවැනි ඉහළම වර්ධනයයි. මේ අතර ලාංකික කෘෂි කර්මාන්තය තවත් අතකින් විශාල අනතුරකට මුහුණ දී ඇති බව පෙනෙන්නට ඇත. ඒ සත්ත්ව ආහාර සඳහා විශාල ලෙස වගා බිම් බදුදීමේ ක්‍රියාවලියය. බඩ ඉරිඟු වගාව මේ අර්බුදයේ පළමු තැනට පැමිණ ඇති අතරම ඒ හරහා ශ්‍රී ලාංකික මහා කෘෂි සංස්‌කෘතිය දෙවන වරටත් බටහිර වුවමනා වෙනුවෙන් වෙනස්‌ කරලීමකට ලක්‌ව ඇත. මිනිස්‌ පරිභෝජනය සඳහා යොදා ගන්නා ඉඩම් විශාල ලෙස සත්ත්ව ආහාර නිෂ්පාදනය වෙනුවෙන් වෙන්කරලීම බලවත් ආර්ථික, සමාජ, සෞඛ්‍ය, පාරිසරික ප්‍රශ්නයක්‌ අප වෙත නුදුරු අනාගතයේදී එල්ල කරනු ඇත. බඩ ඉරිඟු වගාවේදී එක්‌ වරක්‌ පමණක්‌ අස්‌වැන්න ලබාගත හැකි බීජ වර්ග වගා කිරීම සඳහා විශාල කෘත්‍රීම පොහොර ප්‍රමාණයක්‌ එයට එක්‌ වීමත් ඇදහිය නොහැකි තරම් විශාල පලිබෝධ නාශක ප්‍රමාණයක්‌ මුදාහැරීමත් ඉතා කුඩා රටක්‌ වූ ශ්‍රී ලංකාවට ඔරොත්තු නොදෙනු ඇත. පොහොර භාවිතය හා පලිබෝධ නාශක භාවිතය පිළිබඳ ගෝලීයව හා දේශීයව සංක්‍ෂිප්ත විස්‌තරයක්‌ දැක්‌වීම වැදගත් වනු ඇත. 1961 දී ලංකාවේ වී වගාව සඳහා පමණක්‌ රසායනික පොහොර භාවිතය ටොන් 29041 ක්‌ විය. 1970 දී එය ටොන් 87065 ක්‌ වූ අතර 1977 දී මෙටි්‍රක්‌ ටොන් 122,000 දක්‌වා ඉහළ යන ලදී. 1982 දී පොහොර මෙටි්‍රක්‌ ටොන් 186,000 ට වඩා ප්‍රමාණයක්‌ වී වගාව සඳහා භාවිතා කර ඇත. 2007-2008 අතර කාලයේදී රසයානික පොහොර මිලදී ගැනීම සඳහා ජාතිය වියදම් කර ඇති විදේශ විනිමය ප්‍රමාණය වනුයේ ඇමෙරිකන් ඩොලර් දස ලක්‍ෂ 576.6 කි. නමුත් රසායනික යෙදවුම් වැඩි වීම ඉහළ ගියද අස්‌වනු අතින් හෝ ලාබය අතින් ගොවීන්ට අත් වූ යහපතක්‌ නොවීය. එහෙත් මහා කෘෂි සංස්‌කෘතියටත් සොබාදහමටත් වෙල්යායවල් හරහා පියාඹා එනුයේ මහත්වූ ව්‍යසනයකි. ශ්‍රී ලංකාවේ මහා කෘෂි කර්මාන්තයට රසයානික පොහොර භාවිතය හා රසායනික කෘමි නාශක භාවිතය ආදේශ කරන ලද්දේ හරිත විප්ලවය හරහාය. 1943 දී මෙක්‌සිකෝවේ නොර්මන් බෝර්ග්ලෝග් විසින් වැඩි දියුණු කළ තිරිගු ප්‍රභේදයක්‌ හරහා ජනිත වූ හරිත විප්ලවය නිල වශයෙන් ආරම්භ වනුයේ 1963 දී එක්‌සත් ජාතින්ගේ ආහාර හා කෘෂි සංවිධානය සමග එක්‌ වූ රටවල් 44 ක්‌ සමගිනි. මේ වනවිට ගෝලීය ජන සමාජයේ හරිත විප්ලවය ක්‍රියාත්මක කිරීම සඳහා මධ්‍යස්‌ථාන 16 ක්‌ ස්‌ථාපිත කර ඇත. හරිත විප්ලවය හරහා ගෝලීය සමාජය අපේක්‍ෂා කළ යහපත් ඉපිලීමට වඩා අයහපත් ගති ලක්‍ෂණ මානව සංහතිය වෙලාගෙන තලා පෙළා ජාතීන් රෝගීන් බවට පත්කර ඇති බව සුලබ දර්ශනයකි. හරිත විප්ලවයෙන් පසුව විවිධ රසායනික හා යාන්ත්‍රික ක්‍රියාකාරකම් බලවත් වූහ. එම නිසා මිනිස්‌ සංහතියත් ස්‌වාභාවික පරිසරයත් අතර නොනවතින ගැටලු ඇති වී ඇත. මිනිසාගේ ජනගහන වර්ධනයත් ඊට සාපේක්‍ෂව වනාන්තර හෙළිකිරීමත් ජනාවාස පුළුල් කිරීමත්, කෘෂිකර්මාන්තය යාන්ත්‍රණික වීම නිසාත් බොහෝ සත්ත්ව සමාජයන්ට මිනිසාගේ වගාවන් ආශ්‍රිතව ජීවත්වීමට සිදුව ඇත. එම නිසා දැවැන්ත අලියාගේ සිට කුඩා කෘමීනුත් ක්‍ෂුද්‍ර ජීවීන් හා වෙනත් සත්ත්ව විශේෂයන් සමග මිනිසා දිගු අවිචාරවත් සටනකට මුල්ගල තබා ඇත. පූර්ව මහා කෘෂි සංස්‌කෘතියේ උගුල් ඇටවීම, පඹයන් තැබීම, දස අවතාර තැබීම, විලෝපියන් සඳහා පොල් පිති ආදී ආදාරක සිටුවීම, විවිධ ශබ්ද සහිත උපකරණ භාවිතය, කෙම් ක්‍රම ආදී පරිසරය සමග ඒකාත්මක ස්‌වභාවික ජෛව පාලන ක්‍රම භාවිත කර ඇත. නමුත් උක්‌ත හරිත විප්ලවයෙන් පසුව ඉතා කඩිනමින් පලිබෝධ නාශක භාවිතය සඳහා ගොවීන් හුරු පුරුදුවිය. පලිබෝධ නාශක ලෙස භාවිතයට ගැනෙනුයේ දිලීර නාශක, ධූම කාරක, ඇකරිනාශක, රොදන්ත නාශක, නෙමොටෝයා නාශක, වල් නාශක, කෘමි නාශක ලෙස වර්ග කර ඇති ඒවාය. මෙම බොහෝ කෘමි නාශක ද්‍රව්‍ය යුරෝපයෙත්, ඇමරිකා එක්‌සත් ජනපදයේ නිෂ්පාදනයන්ය. ශ්‍රී ලංකාවේ පළමු වරට 1940 දී මැලේරියා මර්දන ව්‍යාපාරය සඳහා කෘමි නාශක භාවිත කරන ලදී. නමුත් හරිත විප්ලවයෙන් පසුව මෙය අදහාගත නොහැකි තරමට කෘෂි මහා සංස්‌කෘතියත්, මානව සංහතියත් බිලිගෙන ඇත. ශ්‍රී ලංකාවේ පලිබෝධ නාශක භාවිතය ලතින් ඇමරිකානු හා අප්‍රිකානු රටවල් අභිබවා ගොස්‌ ඇත. එම රටවල පලිබෝධ නාශක භාවිතය හෙක්‌ටයාරයකට ග්‍රෑම් 1000 ක්‌ වන අතර ශ්‍රී ලංකාවේදී එම තත්ත්වය ග්‍රෑම් 1800 ක්‌ පමණ වී ඇත. පලිබෝධ නාශක සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය 2000 දී මෙටි්‍රක්‌ ටොන් 410 ක්‌ පමණ වන අතර සකස්‌ කළ ද්‍රව්‍ය ටොන් 3750 කි. වියදම් වී ඇති මුදල ඩොලර් මිලියන ගණනකි. 1990 සිට 2003 දක්‌වා වූ වසර 14 තුළදී කෘමි නාශක මෙටි්‍රක්‌ ටොන් 28,500.58 ක්‌ ද, වල් නාශක මෙටි්‍රක්‌ ටොන් 33,598.72 ක්‌ ද දිලීර නාශක මෙටි්‍රක්‌ ටොන් 9,592.00 වශයෙන් මෙටි්‍රක්‌ ටොන් 71,192.48ක්‌ ආනයනය කොට ඇත. දෙකෝටියකට වඩා වූ ශ්‍රී ලාංකික ජනයා අතර ශ්‍රී ලංකාවේ ගොවි පවුල් ප්‍රමාණය 1,800,000 වන අතර එහි 9,000,000 ලක්‍ෂයක වඩා ජනතාවක්‌ ජීවත් වෙති. ඉන් අඩකට වඩා කාන්තාවන්, ළදරුවන් සහ දරුවන් නියෝජනය වනු ඇත. ඉහත සඳහන් කළ අදහාගත නොහැකි තරම් වූ කෘමි නාශක ප්‍රමාණය නිසා කාන්තාවන්ද, ජාතියේ අනාගත පරපුරද, ලක්‌ මාතාවගේ ස්‌වභාවික හැඩරුවද විනාශයේ දොරටුවට තට්‌ටු කරමින් ඇත. මෙම මහා විනාශයෙන් බේරීමට නම් අප නැවත අපේ මහා කෘෂි සංස්‌කෘතියේ තිබූ සරල එහෙත් තිරසර ගති ලක්‍ෂණ වෙත හා ස්‌වභාව ධර්මයා සමග යහපත් අයුරින් ඒකාත්මික වූ විශ්මිත කෘෂි දර්ශනය වෙත යොමු විය යුතුය. එදා අපේ මුතුන් මිත්තන්ට තාරකා විද්‍යාව පිළිබඳ තිබූ අත්දැකීම් ද සූර්යයාගේ ගමන් මාර්ගය පිළිබඳ තිබූ වැටහීමද ප්‍රයෝජනයට ගෙන යහපත් පාරිසරික හැඩරුවක්‌ ඇති, ගොවිතැන් රටාවක්‌ තුළ තම මානව අවශ්‍යතා ඉටු කරගත්හ. අප්‍රේල් මාසයේ අකුණු ගැසීම් නිසා ඇතිවන වෙනස්‌කම් පිළිබඳවත් ඒ හරහා පස සාරවත් වීමේ ක්‍රියාවලිය පිළිබඳ ඔවුන්ට තිබූ අත්දැකීම් පිළිබඳ අපට ඇත්තේ විශ්මයකි. සංවහන වැසි රටාව නිසා ස්‌වභාවයෙන් පොළොව සරුවන බව දැන සිටි අපේ මුතුන් මිත්තන් සමකය ආශ්‍රිතව පිහිටි ලක්‌ පොළොවේ පොහොර නිෂ්පාදනය වන්නේ පොළොව මතුපිටින් බවද? ක්‍ෂුද්‍ර ජීවින් සිටින්නේද පොළොව මතුපිට බව ද ඔවුන් හොඳින් අධ්‍යයනය කර තිබිණි. එම පොළොව මතුපිට පමණක්‌ තරමක්‌ පස සකස්‌ කරලීමට අවශ්‍ය දේශීය නඟුල භාවිත කරන ලද්දේ, ගැඩවිලුන් හා පනුවන් ආරක්‍ෂා කරගැනීම සඳහාය. පනුවන් සහ ගැඩවිලුන් වසර කෝටි ගණනකට පෙර සිට පොළොව සරු කර ඇති අතර වර්තමානයේද එසේමය. අපේ පසේ ඉතා සාරවත් බව මුතුන් මිත්තෝ මහා කෘෂි සංස්‌කෘතිය හරහා හොඳින්ම අත්දැන සිටියහ. එහි විද්‍යාත්මක ගති ලක්‍ෂණ නූතන විද්‍යාත්මක පාරිභාෂිත වචන හරහා නොවුණත් දියුණු මානසික අවධීන් පුහුණු කරගත් ආදී සිංහලයා හොඳින් තේරුම්ගෙන තිබූ බව ඉතා පැහැදිලිය. මෙවැනි අති දියුණු ශිල්පීය හැකියාවන් පිළිබඳ නවීන කළමනාකරණ උපායමාර්ග හරහා නැවත අප අවධානය යොමු කළ යුතුය. 21 වන සියවසේදී වූවත් ලාංකික තරුණ පරපුර තවදුරටත් කෘෂි කර්මාන්තයේ යෙදෙනුයේ උරුමයෙන් ලැබෙන පෙළඹවීම මත පමණි. කෘෂි කර්මාන්තය පිළිබඳ ගොනුවූ රාජ්‍ය ආයතන රාශියක්‌ ඇතත් ග්‍රාමීය මට්‌ටමේ තරුණ පරපුර ඔවුන්ගේ උරුම කෘෂි සංස්‌කෘතිය සඳහා වඩා නවීකරණයෙන් යුතුව ගෝලීය සන්දර්භයක්‌ තුළ ඇති වටිනාකම් පිළිබඳ අවධානයකින් යුතුව යොමු කරලීමක්‌ තව දුරටත් දැකිය නොහැකිය. මෙම තත්ත්වය දේශීය කෘෂි කර්මාන්තයේ දායකත්වය දළ දේශීය නිෂ්පාදනයේදී වඩා තීව්‍රර ලෙස පහළ බැසීමට හේතුවූ මුලික කාරණයකි. අපේ තරුණ පරපුර ගෝලීය සන්දර්භයක්‌ තුළ දේශීය කෘෂිකර්මාන්තයේ කොටස්‌ කරුවන් කරලීමට නම් ඔවුන්ගේ තරුණ ජීවිතවල වටිනාකම් සඳහා වර්තමාන ගෝලීය දියුණු සමාජයන් හි ඇති වටිනාකම් අතර සබඳතාවක්‌ ගොඩනැඟêය යුතුව ඇත. ලාංකික කෘෂි සංස්‌කෘතියේ තරුණ පරපුර ගෝලීය සන්දර්භය තුළ දේශීය කෘෂි කර්මාන්තයේ හිමිකරුවන් කරලීමට නම් ආණ්‌ඩුව තරුණයන් මහා කෘෂි සංස්‌කෘතියේ ගුණාත්මක කාරණා අනුව පුහුණු කරලීමට වැඩ සටහන් දියත් කළ යුතුව ඇත. උක්‌ත තරුණ පරපුර පිළිබඳ වූ ජාතිකම වැඩසටහන් සංවිධානය කළ යුත්තේ වසර 30 ක්‌ සඳහා වූ සැලැස්‌මක්‌ සහිතවය. ඒ සඳහා වූ ක්‍රියාවලිය ඇතුළත් වැඩ සටහන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලීමේදී. 01. 1935 අංක 19 දරන ඉඩම් සංවර්ධන පනත (1946,1955,1961,1969 සම්බන්ධ කිරීම) 02. 1958 අංක 01 දරන කුඹුරු පනත 03. 1972 ඉඩම් ප්‍රතිසංස්‌කරණ පනත 04. 1972 අංක 5 දරන ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතන පනත, 05. 1972 අංක 11 දරන රාජ්‍ය කෘෂි කාර්මික සංස්‌ථාපිත කිරීමේ පනත 06. 1972 අංක 14 දරන වී අලෙවි මණ්‌ඩල පනත 07. 1973 අංක 09 දරන වී නිෂ්පාදකයන්ගේ ඉතිරි කිරීමේ පනත 08. 1973 අංක 15 දරන සාගිනි නිවීමේ මණ්‌ඩල පනත 09. 1973 අංක 30 දරන ශ්‍රී ලංකාවේ පලතුරු වගාව පිළිබඳ පනත 10. 1973 අංක 42 දරන කෘෂිකාර්මික ඉඩම් නීතිය 11. 1979 අංක 58 දරන ගොවි ජන සේවා පනත පිළිබඳ නැවත අවධානය යොමු කොට වර්තමාන කෘෂි සංස්‌කෘතියේ දේශීයව හා ගෝලීයව නැඟිසිටීමට අවශ්‍යව සංශෝධනයක්‌ කළ යුතුය. මේ සඳහා දේශීය හා විදේශීය විද්වතුන්ගේ අදහස්‌ ලබාගැනීමට කටයුතු කළ යුතුය. එම වෙනස්‌ කරලීම සඳහා ඉහත විස්‌තර කළ කාරණාවන්ට අනුව රටේ කෘෂි සමාජ තරුණ පරපුරත්, සාම්ප්‍රදායික ගොවි පරපුරත්, අපනයන වගා කරුවනුත්, සාම්ප්‍රදායික වැවිලි සමාජයත් ගොනු කරගත් සමාජ ආර්ථික, තාක්‍ෂණික ප්‍රතිසංස්‌කරණ ආරම්භ කළ යුතුය. පුරුදු පුහුණු වූ ගෝලීය දැක්‌මක්‌ ඇති කරුණු කෘෂි ව්‍යාපාරිකයන් පුහුණු කර සමාජයට එකතු කිරීම අද්‍යතනව ඉතාමත්ම වැදගත් ජාතික අවශ්‍යතාවක්‌ බවද සඳහන් කරමි. දේශප්‍රිය නානායක්‌කාර

No comments:

Post a Comment