Monday, December 24, 2012

පැය 72කට වරක්‌ අලියකු මරු තුරුලේ මේ ඛේදවාචකයට විසඳුම කුමක්‌ද?

පැය 72කට වරක්‌ අලියකු මරු තුරුලේ මේ ඛේදවාචකයට විසඳුම කුමක්‌ද? 1758 දී කාර්ල් ලීනියස්‌ (CARL LINNAEUS) නමැති ස්‌වීඩන් ජාතික උද්භිද හා සත්ත්ව විද්‍යාඥයාගේ නව සත්ත්ව වර්ගීකරණයට (THE TAXONOMICON) අනුව අද්‍යතන අලියා විද්‍යාත්මකව හඳුන්වා ඇත්තේ (SCIENTIFIC - CLASSIFICATION) ඇනිමලිsයා රජ දහනේ (ANIMALIA KINGDOM) කෝඩාටා වංශයේ (CHORDATA PHYLUM) මැමලියා පංතියේ (MAMMALIA CLASS) එලිපනට්‌ටිඩේ කුලයේ (ELEPHANT FAMILY) එලිෆාස්‌ ගණයේ (GENUS ELEPHAS) සත්ත්ව විශේෂයක්‌ වශයෙනි. පෘථිවි මානුෂීය වාර්ගිකයන් (මිනිසුන්) ජීවත් වන පෘථිවි ගෝලයේ ඉතිහාසය ඇතුළත වසර මිලියන 34-56 දක්‌වා අතර කාලයේ ඉයොසීන වකවානුවේ (EOC ENE EPOCH) සිට අද්‍යතන දක්‌වා අලියා පරිණාමය වී ඇත. අලියාගේ ආරම්භය ඇති වනුයේ අති දැවැන්ත උරගයින් ජීවත් වූ මිසසොයික්‌ (MESOZOIC-ERA) යුගයේදීය. ඒ යුගයේදී කිරි බී වැඩුණු කුඩා ක්‍ෂීරපායි සතුන් වන අලියාගේ මුල් මුතුන්මිත්තන් වූයේ උස සෙ. මී. 70 ක්‌ පමණද දිග අඩි 2-3 ක්‌ පමණ ද වූ මොයිරිකියම් (MOERITHERIUM) නමින් හඳුන්වා ඇති සත්ත්ව විශේෂයෑයි. උරගයකු වූ අලියාගේ මුල් අවස්‌ථාවේ පළමු පොසිල වන ඉයොසීන පොසිල (EOCENE FOSSIL) හමුවී ඇත්තේ ඊජිප්තුවේ මොයිරිස්‌ වැව් තෙරේදීය. (MOERIS LAKE) මොයිරිස්‌ වැව් තෙරේ දී උක්‌ත පොසිල හමුවූ නිසා මොයිරිතියම් යනුවෙන් (MOERITHERIUM) මෙම උරගයා හඳුන්වා ඇත. උක්‌ත උරගයාට හොඬක්‌ හෝ දළයක්‌ පිහිටා තිබී නැත. වැව් තෙරේදී ආහාර ගැනීමට උඩුqතොල ආශ්‍රිත මාංශ පේශීන් ප්‍රයෝජනවත් වී ඇත. කඳ හා නාසයක්‌, පාද හතරේ හැඩයක්‌ හේතුවෙන් නූතන අලියාගේ හැඩය දිස්‌ වී ඇත. එලිෆන්ට්‌ටිඩේ (ELEPHANTIDAE / PRIME LEPHAS) කුලයේ පරිණාමය සිදුවූ ඇත්තේ ස්‌ටෙගොඩොන්ගෙන් (STEGOTETRA BELODON) සහ මැමත් (MAMMUTHUS) හා ඉන් පසුව පරිණාමය වූ අපට හුරු පුරුදු අලි වර්ග දෙකකිනි, ඒ ලොක්‌සොඩොන්ටා - (LOXODONTA, AFRICAN ELEPHANT:- SUB SPECIES:- AFRICANA,CYCLOTIS) සහ (ELEPHAS, ASIAN ELEPHENT:-SUB SPECIES:- MAXIMUS, INDICUS,SUMATRANUS) එලිපාස්‌ යන අලි වර්ග දෙක අප්‍රිකානු සහ ආසියානු වශයෙනි, අද්‍යතනව පෘථිවි ගෝලයේ ජීවත් වන උක්‌ත අලි දෙවර්ගය ඉතා දිගු ඉතිහාසයක්‌ සහිත අලි පරිණාම කථාවේ නූතන සද්ධන්තයන්ය. ලොක්‌ යොඩොන්ටා අලි සමාජය අප්‍රිකාව සිසාරාද එලිපස්‌ අලි සමාජය ආසියාවේද ජීවත් වනුයේ සමස්‌ත ජෛව විවිධත්ත්වයේ සුන්දරම හා ගාම්භීරම සත්ත්ව ප්‍රජාව වශයෙනි. ආසියානු අලින් 18, 19 වන සියවස්‌වලදී ලක්‍ෂ 02 ක්‌ පමණ වූ අතර අද්‍යතනව එම අලි ගහනය 35000 ක්‌ පමණටම පහත වැටී ඇත, ආසියානු අලියකු සාමාන්‍යයෙන් අඩි 10-12 ක්‌ දක්‌වා උස්‌ වන අතර හොඬවැලේ සිට වලිගය දක්‌වා දිග අඩි 30 ක්‌ පමණය. අලියා තම හොඬවැල ක්‍රියාත්මක කිරීම සඳහා මාංශ පේශීන් 150,000 ක්‌ පමණ ක්‍රියාත්මක කරනු ලබයි. බර ටොන් 3-7 අතර වන අතර ජලය ගැලුම් 30-50 අතර දිනපතා පානය කරනු ලබයි. තණකොල හා ළඳු කොල, ගස්‌ කොලන් කිලෝ 100 - 200 අතර දිනකට ආහාරයට ගනී. ආසියානු අලියාගේ පිරිමි සතාට පමණක්‌ දළ පිහිටනු ලබයි. අප්‍රිකානු අලියාගේ කන්වලට වඩා ආසියානු අලියාගේ කන් කුඩා වුවත් ශ්‍රවණය එතාමත් තීව්‍රය. අලියාට හොඳින් දර්ශනය වනුයේ අඩි 30, 40 දුර පමණි. පෙනීම දුර්වලය. අලියා දිනකට රාත්‍රි කාලයේදී පැය 04 ක්‌ පමණ නිදාගනු ලැබූවත් ඉතා තදබල අසනීපයකදී හැර බිම වැතිරෙන්නේ නැත. ආසියානු ගැහැනු සතා මාස 22 ක කාලයක්‌ පැටවකු ප්‍රසූත කිරීමට ගත කරනු ලබයි. අලියාගේ මොළය සත්ත්ව ලෝකයේ විශාලතම මොළයයි. එය කිලෝ ග්‍රෑම් 05 කි, අලියාගේ මතකයද ඉතාමත් ගැඹුරුය. අලියාගේ සන්නිවේදන ක්‍රියාවලිය වර්ග කිලෝ මීටර් 100 ඇතුළත කිලෝ මීටර් 9-10 අතර ක්‍රියාත්මකය. බොහෝ විට රාත්‍රි කාලයේදී මේ තත්ත්වය තවදුරටත් ශක්‌තිමත්ය. මානව ප්‍රගමනයේ වසර සියගණනක සිටම ප්‍රතාපවත් දැවැන්ත අලියාගේ ජීවිත කථාව මිනිස්‌ සංහතිය සිසාරාම ජනාදරයට පත් වී ඇත්තේ දිගු හොඬයක්‌ සහිත දැවැන්ත ශරීරයක්‌ සහ මහා තේජසක්‌ සහිත ගාම්භීර ගමනක්‌ ඇති, කෙතරම් බලා සිටියත් ඇති නොවන බාල තරුණ මහලු සියලු ජනී ජනයාගේ සිත් ඇදගන්නා ප්‍රියමනාප සත්ත්ව විශේෂයක්‌ වශයෙනි. සත්ත්ව ලෝකයේ විශාලම සතකු වන අලියා මිනිසාගේ සිත් සතන් තුළ මහත් ප්‍රීතියක්‌ ගෙන දුන් ගජ මිතුරකු වුවද 21 වැනි සියවසේදී ශ්‍රී ලංකාවේ ඈත පිටිසර ගම්මානවල ජීවත් වන අපේ ලේ ඥති සහෝදර සහෝදරියන්ගේ අහිංසක දෙමාපියන්ටද තම දරු පරම්පරාවටද, රටේ සතර දිග් භාගයේදීම මහත් ජීවිත අභියෝගයක්‌ වී තිබීම කනගාටුවට කරුණකි. සැබැවින්ම පරම්පරා ගණනක සිට මිනිසුන්ට ප්‍රිය මනාප වූ අලියා අද්‍යතනව පැය විසිහතරේම මිනිසාට තර්ජනයක්‌ වී ඇත්තේ කොයි මොහොතේ හෝ මිනිසාට මරු කැඳවමිනි. මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ අපේ රටේ වන සම්පත ශීඝ්‍රයෙන් හීන වීමය. ඒ අතර ජන සංඛ්‍යාවේ වර්ධන ශීඝ්‍රතාවයද ඊට සෘජුවම බලපා ඇත. ඉතා දීර්ඝ කාලයක්‌ පැවැති යුද්ධය හේතුවෙන් උතුර නැගෙනහිර වනාන්තර වලින් අලියාට ප්‍රයෝජනයක්‌ ගැනීමට නොහැකි වීමත් මීට හේතු වූවා විය හැකිය. 1948 දී බ්‍රිතාන්‍යය යටත් විජිතයෙන් අප නිදහස්‌ වන විට භූමි මිනිස්‌ අනුපාතයට අනුව එක්‌ වර්ග කිලෝ මීටරයකට එක්‌ මිනිසකු වන ආකාරයෙන් සමස්‌ත ජනගහනය දශලක්‍ෂ 7.1 ක්‌ ලක්‌ මාතාව සතු විය. 1880 දී සමස්‌ත ශ්‍රී ලංකාවේ වන ගහනය 84% ක්‌ වූ අතර 1992 දී වන ගහනය 24% ක්‌ දක්‌වා ක්‍ෂය වී ඇත්තේ වසර 200 කට අඩු කාලයකදීය. 1956 දී ගනු ලැබූ ශ්‍රී ලංකාවේ ප්‍රථම ගුවන් ඡායාරූප සමීක්‍ෂණයේදී පැහැදිලි වී ඇත්තේ ශ්‍රී ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් 14% ක්‌ හේන් ගොවිතැන යටතේ භාවිත වන බවය. හේන් ගොවිතැන සම්පූර්ණයෙන්ම සිදු වනුයේ රජයට අයත් වනාන්තරවලය. 21 වන සියවසේ 2000 වසරේ සංඛ්‍යා ලේඛන වලට අනුව අනවසර, අවිධිමත් හේන් ගොවිතැන් 15% දක්‌වා වර්ධනය වී තිබීම අලි ප්‍රජාවට මෙන්ම අපේ ආර්ථික සංවර්ධනයේ ව්‍යාකූලතාවද මැනවින් පෙන්වන දර්ශකයකි. එම ක්‍රියාව ඒ ආකාරයෙන් තව දුරටත් අවම පාලනයකින් වුව ක්‍රියාත්මක වෙද්දී 1956 සිට 1983 දක්‌වා අප විසින් ලක්‌ පොළොවේ ස්‌වාභාවික වනාන්තර හෙක්‌ටයාර් 41,500 ක්‌ පසුගිය සෑම වසරකදීම ස්‌වභාව ධර්මයෙන් උදුරාගෙන ඇත්තේ ඉතාමත් කුරිරු ආකාරයෙනි. 18 වැනි සියවසේ වල් අලි ගහනය 12,000 - 14,000 වූ අතර එම ප්‍රමාණය 19 වැනි සියවසේදී 10,000 - 12000 ත් අතර ප්‍රමාණයටද, 1927 දී 7000 - 8000 ක අතර සංඛ්‍යාවකටද 1970 දී එම ප්‍රමාණය අලි ඇතුන් 5000 දක්‌වාද 1990 දී 4000 දක්‌වාද 2003 දී 3150 ක්‌ ද 2007 වසරේදී 2900 - 3000 දක්‌වා ශ්‍රී ලංකාවේ අලි ඇතුන් ප්‍රමාණාත්මකව පහළට වැටී ඇත්තේ සාමාන්‍යයෙන් දින 14 කට එක්‌ අලියා බැගින් අපෙන් සමු ගනිමිනි. පසුගිය වසර 12 ඇතුළතදී අලින් 1,464 ක්‌ මිය ගොස්‌ ඇති අතර එය සාමාන්‍යයෙන් දින 03 කට එක්‌ අලියෙකු බැගිනි. අපේ අලි පරම්පරාව දිනකට අලි තිදෙනා බැගින් මිය යැමට තව දුරටත් ඉඩ දුනහොත් අලි 3000 ක්‌ විනාශ වීමට දින කීයක්‌ ගතවේදැයි සිතනු මැනවි. අපේ මහා සංස්‌කෘතියේ සම්මුතීන්ට හෝ ගෝලීය සම්මුතීන්ට හෝ නොගැලපෙන අයුරින් අත්තනෝමතිකව වසරකට වනාන්තර හෙක්‌ටයාර් 41,500 ක්‌ විනාශ කර දැමීම හෙවත් ස්‌වභාවික පරිසරයේ සාම්ප්‍රදායික සත්ත්ව වාස භූමිවලට මේ දක්‌වා කර ඇති විනාශයට එරෙහිව එදා සිට අද දක්‌වාම නැගී සිටි එකම ජීවියා අලියා පමණි. අනෙක්‌ සියලුම ජීවීහු මිනිසාගේ උක්‌ත ක්‍රියාවලියට මුහුණ දීමට නොහැකිව අසරණව වඳවී ගොස්‌ ඇත්තේ තම දෙමාපිය හිත මිතුරන්ට ද දරුවන්ටද නොදැනීමය. නමුත් මිනිසා විසින් ජෛව වාසභූමි පද්ධතියට එල්ලකරන අවධිමත් පීඩනයට එරෙහිව අලියා තනිවමද, රැළක්‌ වශයෙන්ද විරෝධය දැක්‌වීමට ඉදිරිපත් වීම පැය 72 වරක්‌ එක්‌ අලියකු මිය යැමට තරම් දරුණු තත්ත්වයකට පත් වී තිබීම පිළිබඳ අප ලඡ්ජාවට පත්විය යුත්තේ මිනිස්‌ සංහතිය තම දැනීම් චින්තනයේ විද්‍යාත්මක හා යාන්ත්‍රිකව ඉතාමත් දියුණුම කාලය පසු කරන්නේ අද්‍යතනව හෙයිනි. අලි මිනිස්‌ ගැටුම සත්‍යවශයෙන්ම අලියා සහ මිනිසා අතර ගැටුමක්‌ නොවන අතර එම ගැටුම සමස්‌ත ජීවී පරිසර පද්ධතියේම අවධිමත් මිනිසාට එරෙහි වීමේ 21 වැනි සියවසේ ප්‍රචණ්‌ඩකාරි මරණීය සංකේතය ලෙස හැඳින්වීමටද හැකිය. ශ්‍රී ලංකාවේ අලියා හා මිනිසා අතර ගැටුම අතිශයින්ම සුවිශේෂය, වසර දහස්‌ ගණනක්‌ බෞද්ධ චින්තනයෙන් ඔපමට්‌ටම් වූ සිංහල ගැමි ගොවියා අලි මාංශ ආහාරයට නොගනී. එසේම සිංහල සම්ප්‍රදායේ කුමන හෝ සාම්ප්‍රදායික ඉසව්වකදී අලි හමට වටිනාකමක්‌ නැති අතර වෙළෙඳ පොළ වටිනාකමක්‌ද නැත. ඇත් දළද තහනම් භාණ්‌ඩයකි. එම නිසා අලි ඇතුන් විනාශ වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ වාර්ෂිකව වර්ධනය වන ජන සංඛ්‍යාව කුමන හෝ ජාතික නියාමනයන් වලින් තොරව අවිධිමත් ලෙස භූමිය පරිභෝජනය සඳහා යොදාගැනීමට කටයුතු කර තිබීමය. අද්‍යතන සමාජයේ ජනගත වී ඇත්තේ අලි ඇතුන් මිනිස්‌ වාස භූමි වලට බලහත්කාරයෙන් ඇතුළු වී අකටයුතුකම් කරන බවය. නමුත් සැබැවින්ම සිදුව ඇත්තේ ආසියානු අලියාගේ (ELEPHS,ASIAN ELEPHAN) සාම්ප්‍රදායික වාසභූමි පෘථිවි මානුෂීය වාර්ගිකයන් (මිනිසුන්) විසින් බලහත්කාරයෙන් අත්තනෝමතිකව අල්ලා ගැනීමය. අලි ඇතුන්ගේ ප්‍රධාන විරෝධය වී ඇත්තේ ඔවුන්ගේ සාම්ප්‍රදායික වාසභූමි එකිනෙකට සම්බන්ධ වන අලි මංකඩවල් මිනිසුන් විසින් අත්පත් කරගැනීමටය. එසේම තම සාම්ප්‍රදායික වාස භූමි වලට නිරන්තරයෙන් සිදුකරනු ලබන පීඩාකාරී ක්‍රියාවලටය. මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ රටේ භූමි පරිහරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක්‌ ක්‍රියාත්මක නොවීමය. නිදහසින් පසු කුමන හෝ සංවර්ධන වැඩසටහනකට එසේ නැතහොත් සංවර්ධන සැලසුමකට ජාතික සැලැස්‌මක්‌ අන්තර්ග්‍රහනය වී තිබුණේ දැයි සැක සහිතය. 1957 - 1966 අතර කාලය සඳහා දස අවුරුදු සැලැස්‌මක්‌ 1971-1976 දක්‌වා පස්‌ අවුරුදු සැලැස්‌මක්‌ ඊට උදාහරණය. රටේ සාම්ප්‍රදායික චින්තනය හා ජීවන රටාව සමාජීය, සංස්‌කෘතිමය මෙන්ම පාරිසරික වශයෙන් උඩු යටිකුරු කළ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී ද ගැඹුරු දිගුකාලීන ජාතික දැක්‌මක්‌ ඊට අන්තර්ග්‍රහණය වී තිබී නැති බව දැන් ඉතා පැහැදිලිය. බොහෝ විට සිදුව ඇත්තේ ඒ ප්‍රදේශ හෝ පළාත්වලට අදාළව කරන සංවර්ධන සැලසුම්ය. මහා මහවැලි ව්‍යාපාරයේද අඩු පාඩුකම් රාශියක්‌ හඳුනාගැනීමට හැකි වනුයේ ජාතික වශයෙන් කල්පනා කර බැලීමෙනි. උක්‌ත ජාතික හා දේශපාලනික මෙන්ම පරිපාලනික පුරුද්ද හේතුවෙන් රටේ ජෛව ස්‌කන්ධයේ බලවතා වන අලි ඇතුන්ටද අද්‍යතනව මරණය අත් විඳීමට සිදුව තිබීම සැබැවින්ම කනගාටුවකි. එසේ වී ඇත්තේ මිනිසුන් 5000 කට එක්‌ අලියෙකුද, සමස්‌ත රටේ භූමියෙන් 12% ක්‌ වූ භූමි ප්‍රමාණයක්‌ ආවරණය වන ජාතික වන උද්‍යාන 17 න් 14 ක්‌ම පමණම අලි ඇතුන්ට සුදුසු පරිසරයක පිහිටා තිබියදීය. අලි මිනිස්‌ ගැටුම කළමනාකරණය කළ හැක්‌කේ ජාතික මට්‌ටමින් හා නිවැරැදි භූමි පාරිභෝගික ප්‍රතිපත්තියක්‌ සමග ක්‍රියාත්මක වැඩසටහනකින් අලි ඇතුන්ගේ සාම්ප්‍රදායික වාස භූමි හා අලි මංකඩ තවදුරටත් සංරක්‍ෂණය කිරීමෙන්ම පමණි. අලි, ඇතුන් පරිසර පද්ධතියේ ක්‍රියාත්මක වීමේදී ඔවුන් සතු නිසඟ ජීව ගුණාංගයන් ප්‍රයෝජනයට ගැනීමට ගජ හපන්නුය. වයඹ හා උතුරු මැද පළාතේ අලි ගැටුම බොහෝ දුරට තීව්‍ර වන්නේ අලියාගේ මෙම නිසඟ ජීව ගුණය හේතුවෙනි. යල / මහ දෙකන්නය වී වගා කරන උක්‌ත ප්‍රදේශවලදී වී වගාව හොඳින් පැසීමේදී පිටවන සුවඳ අලියාට මහත් පිබිදීමක්‌ ගෙන දෙන බව ඇමෙරිකාවේ ප්ලොරීඩාහි (RINGLING BROS AND BARNUM & BAILEY CENTER FOR ELEPHANTCONSERVATION) ආයතනයේ අලි විශේෂඥයන් දෙදෙනකු විසින් අධ්‍යයනය කර ඇති අතර උක්‌ත මධ්‍යස්‌ථානයේ දී මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ කෙරෙමින් පවතී. විද්‍යාඥයන් ගේ අදහස වී ඇත්තේ එම සුවඳ රසායනික කෘත්‍රිම දුඟද නාශකයක්‌ (DEODORANT) වශයෙන් ගම්මාන වලට ප්‍රති විරුද්ධ භූ කලාපයේ විසුරුවා හැරීමෙන් අලින්ගේ කඩා වැදීම වළක්‌වා ගත හැකි බවය. අප්‍රිකාවේ කෙන්යානු ගොවියන් තම වගා බිම් වලට කඩා වදින අලින්ට එරෙහිව මී මැසි ජනපද ප්‍රයෝජනයට ගෙන ඇත. ශ්‍රී ලංකාවේද මෙම ක්‍රමය අත්හදා බැලීම ආරම්භ කර ඇත. උක්‌ත ක්‍රියාවලිය ඉතාමත්ම වටිනා ජෛව විද්‍යාත්මක මෙන්ම ආර්ථික ක්‍රියාවලියට සහ ක්‍රියාදාමයක්‌ වශයෙන් අන්තර්ග්‍රහණය කරගත හැකි උපක්‍රමයකි. (SYNERGISE ELEPHANT CONSERVATION WITH ECONOMIC DEVELOPMENT) අලි සංරක්‍ෂණය, මී මැසි ජනපද කළමනාකරණය. උසස්‌ මී පැණි නිෂ්පාදනය යන කාරණා ත්‍රිත්වයම සංචාරක කර්මාන්තයට ඉතාමත් ආකර්ෂණීය ක්‍රියාකාරකම්ය. කෙසේ වෙතත් ජෛව විවිධත්ව ක්‍රියාවලිය සම්බන්ධ එසේ නැතහොත් වන සතුන් ආශ්‍රිත / වන සතුන් නැරඹීම යන කාරණාවලට මූලිකත්වය දෙන සංචාරක ඉසව් අපේ රට තුළ වර්ධනය කරන්නේ නම් එක්‌සත් ජාතීන් විසින් රටවල් කිහිපයකම, ජාතික වනෝද්‍යාන හා ස්‌වභාවික වනාන්තර ඇසුරෙන් කර ඇති විද්‍යාත්මක වාර්තාව පිළිබඳවද අප අවධානය යොමු කළ යුතුය. (WILD LIFE WATCHING AND TOURISM - A STUDY ON THE BENEFITS AND RISKS OF A FAST GROWING TOURISM ACTIVITY AND ITS IMPACT ON SPECIES) එවිට අනෙක්‌ ජීවින්ගේ සංරක්‍ෂණය හා ශාඛා ප්‍රජාවගේ ආරක්‍ෂාව පිළිබඳ පසුව පසුතැවිලි වීමට සිදු නොවනු ඇත. උතුර නැගෙනහිර පළාතේ අලි ගැවසෙන ප්‍රදේශවල මී මැසි පාලනය පිළිබඳ නියාමන ව්‍යාපෘතියක්‌ ශ්‍රී ලංකා යුද හමුදාවේ සහභාගිත්වයෙන් ආරම්භ කිරීම රටට ආදර්ශයක්‌ වනු ඇත. අලි සංරක්‍ෂණයේදී ගෝලීය අවධානය ආසියානු අලියාට වඩා අප්‍රිකානු අලියාට යොමු වී ඇති බව දක්‌නට ඇත. ශ්‍රී ලංකාවේ අලි 3000 රැක ගැනීමට ගෝලීය අවධානය යොමු වීම, ඉතා දුර්වල මට්‌ටමක තිබෙන බවද පැහැදිලි වනුයේ ඒ පිළිබඳ ගැඹුරු අවධානය යොමු කිරීමෙනි. ආසියානු අලියා සංරක්‍ෂණයේදී ශ්‍රී ලංකාවේ වැදගත්ම අවශ්‍යතාව වනුයේ අලි ප්‍රජාවගේ අලි ගමන් මග නොහොත් අලි මංකඩ සංරක්‍ෂණය කිරීමය (ESTABLISHMENT OF ELEPHANT CORRIDORS) අලි සංරක්‍ෂණයේදී වඩා අවධානය යොමු වී ඇත්තේ අලින්ගේ පැමිණීම වැළැක්‌වීමට (ELEPHANT DETERRENCE) ශබ්ද හා නොයෙකුත් ආලෝක තරංග ක්‍රියාත්මක කිරීමය. අප්‍රිකාවේ ගොවි ජනයා කොටියාගේ හඬ ටේප් රෙකෝඩරය මගින් විසුරුවා හැරීමෙන් අලි කඩා වැදීම් අල්ප කරගෙන ඇත. අලිමංකඩ සංරක්‍ෂණයට අමතරව, නව්‍ය වන උද්‍යාන ඇති කිරීමටත්, දැනට තිබෙන සාම්ප්‍රදායික වාසභූමි වල ගුණාත්මක තත්ත්වය සවිබල ගැන්වීමක්‌ අලි ඇතුන් ජන ගහනය අඩු ප්‍රදේශවලට යොමු කිරීමත්, ඇතුළු නොයෙකුත් ක්‍රියා මාර්ග දැනටත් මේ සඳහා විසඳුම් වශයෙන් ක්‍රියාත්මකය. අලි තර්ජිත ගම්මාන වල සහෝදර ජනතාව වඩා රුචියක්‌ දක්‌වනුයේ විදුලි වැටටය. විදුලි වැට ඉදිකිරීම (ELECTRIFIED FANCING) විශාල අයෝජනයක්‌ කළ යුතු ව්‍යාපෘතියකි. ගජ මිතුරු වැඩසටහන යටතේ මිලියන 300 ක ආයෝජනයෙන් තවත් සැතපුම් 3000 ක්‌ දුරට විදුලි වැට යෝජනා ක්‍රම රට සිසාරා ඉදිකිරීමට අපේක්‍ෂිතය. නමුත් අලින්ගේ පැමිණීම වැළැක්‌වීම (ELEPHANT DETERRENCE) මෙන්ම ඊට ගොදුරු වන ජනතාවගේ පාර්ශවයන්ගේද මේ පිළිබඳ තවදුරටත් විසඳිය යුතු ප්‍රශ්න රාශියකි. අලි වැට සංකල්පය නොයෙකුත් අඩුපාඩුකම් රාශියක්‌ හේතුවෙන් තවදුරටත් ලංකාවේ සාර්ථක ව්‍යාපෘතියක්‌ බවට පත් වී නොතිබීම කනගාටුවට කරුණකි. නොයෙක්‌ ප්‍රදේශවල සැනෙකින් ක්‍රියාත්මක වන අලි කරදරයට නිරන්තරයෙන් ගොදුරු වන්නේ අහිංසක අපේ ගැමි ගොවි ජනතාවය. ඒ සමගම ජනයාගේ පීඩනයට සෘජුවැම මුහුණ දෙනුයේ වන ජීවි නිලධාරි ප්‍රජාවය. ඔවුන්ද අපගේම සහෝදර ජන ප්‍රජාවක්‌ වන අතර ඔවුන්ගේ රාජකාරි ක්‍රියා වලියේද දහසක්‌ අඩුපාඩුකම්ය. එසේම ඔවුන්ගේ ජීවිතවල වටිනාකම ඔවුන්ගේ දූ දරුවන්ට, ඉතාම වැදගත්ය. එම නිසා අලින්ද, අලින්ගේ පහර කෑමට ලක්‌වන අපේ සහෝදර ගොවි ජනතාවද, එම අර්බුදයට මැදිහත් වන බිම් මට්‌ටමේ වන ජීවි නිලධාරින්ද ආරක්‍ෂා කර ගැනීම සඳහා ඇති නිවැරැදි හා ශක්‌තිමත්ම ක්‍රියාවලිය ඉඩම් පරිහරණය පිළිබඳ තිබෙන නීති රීති සෑම බිම් අඟලකම තදින් ක්‍රියාත්මක කිරීමය. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අලි මිනිස්‌ ගැටුම මෙන්ම පොදුවේ ජෛව විවිධත්ව සංරක්‍ෂණය පිළිබඳ ක්‍රියාත්මක ආයතනවල නිලධාරින්ගේ රාජකාරිද, උත්සාහයන්ද උද්යෝගිමත් නමුත් එහි සෘජු ප්‍රතිඵල දක්‌නට නොලැබෙනුයේ ඒ හා සම්බන්ධ සම්පූර්ණ වැඩ සටහන බිම් මට්‌ටමේ සිට සංවිධානාත්මකව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මෙන්ම නීතිමය ප්‍රතිපාදන වල පවතින අඩුපාඩුකම් හේතුවෙනි, එමනිසා ආසියානු අලියා ලංකාවේදී ආරක්‍ෂා කර ගැනීම සඳහා ගෝලීයව අවබෝධය ඇති ක්‍රියාශීලී නිලධාරින්ගෙන් සමන්විත සුවිශේෂී ආයතනයක්‌ දස අවුරුදු කාලයක්‌ සඳහා රට තුළ ස්‌ථාපිත කළ යුතුය. ඒ සඳහා හදිසි පනතක්‌ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අවශ්‍ය අණ පනත් ඒකරාශි කරගත යුතුය. ඒ සමගම කඩිනමින් ලංකාවේදී පැය 72 කට වරක්‌ මිය යන අපේ අලි සම්පත රැක ගැනීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීමට පහසු වනු ඇත. ගෝලීය අවධානයද මීට වඩා ක්‍රියාශීලී තත්ත්වයට ගෙන ඒමට හැකි වනු ඇත්තේ ඉතිරි වී සිටින අලි 3000 වත් රැක ගැනීමටය. අලි සංරක්‍ෂණය සඳහා රජය විසින් ජාතික ප්‍රතිපත්තියක්‌ හඳුන්වා දී ඇත. (NATIONAL ELEPHENT CONSERVATION POLICY) එම ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමද ඉහත යෝජිත ශ්‍රී ලංකාවේ ආසියානු අලි සංවර්ධන අධිකාරිය යෑයි නම් කළ හැකි ආයතනයට පවරා දිය හැකිය. ශ්‍රී ලංකාවේ ආසියානු අලි සංරක්‍ෂණ අධිකාරිය පිහිටුවීමෙන් පසුව එහි ක්‍රියාකාරිත්වය ආසියානු අලි ප්‍රජාව ජීවත් වන ඉන්දියාව මියන්මාරය, ලාඕසය, තායිලන්තය, වියට්‌නාමය, මැලේසියාව, බංගලිදේශය, සුමාත්‍රා ආදී රටවල අලි සංරක්‍ෂණ වැඩසටහන් දක්‌වා ක්‍රියාකාරි මට්‌ටමට දියුණු කළ යුතුය. දැනටමත් ශ්‍රී ලංකාවේ නොයෙකුත් රාජ්‍ය නොවන සංවිධාන වල ප්‍රවීණයන් මේ තත්ත්වයට පැමිණ ඇත. නමුත් ශ්‍රී ලංකාවේ අලියා සංරක්‍ෂණය කිරීමේ කාර්යයේදී මෙම විද්වතුන්ගේ ක්‍රියාකාරී දායකත්වය ලබා ගැනෙනුයේ තරමක උදාසීනවය. ඊට හේතුව වී ඇත්තේ පැරැණි සාම්ප්‍රදායික නීති රීති හා දෙපාර්තමේන්තු රාශියක පරිපාලන ක්‍රියාදාමයන් අතරින් මෙම සංරක්‍ෂණ ක්‍රියාවලිය ජයග්‍රහණය කරා ගෙන යැමට තිබෙන පරිපාලනික අවහිරතාවන්ය. එම නිසා යෝජිත ශ්‍රී ලංකාවේ ආසියානු අලි සංරක්‍ෂණ අධිකාරිය පිහිටුවීමෙන් ශ්‍රී ලංකාවේ මේ පිළිබඳ විද්වතුන්ගේද, නොයෙක්‌ රාජ්‍ය නොවන සංවිධාන වලින්ද, අලි ලෝලීන්ගෙන්ද නොමසුරු සහයෝගයෙන් ඉතිරි වී සිටින අලි 3000 රැක ගැනීමට හැකිවනු ඇත්තේ පහසුවෙනි. අද්‍යතනව ගෝලීය මට්‌ටමේදී ආසියානු අලියා සංරක්‍ෂණය කිරීම සඳහා ක්‍රියාත්මක නීතිමය ප්‍රතිපාදනයන් යටතේ (LEGAL-STATUS/ PROTECTION) ආසියානු අලි සංරක්‍ෂණ පනත (THE ASIAN ELEPHANT CONSERVATION ACT1997) සහ ආසියානු අලි සංරක්‍ෂණ අරමුදලක්‌ (THE ASIAN ELEPHANT CONSERVATION FUND) මෙන්ම 1973 දෙසැම්බර් 28 දින ඇමරිකානු ජනාධිපති රිචර්ඩ් නික්‌සන් (RICHARD MILHOUS NIXON 1969-74) විසින් අත්සන් කරන ලද (THE ENDANGERED SPECIES ACT OF 1973) වඳවීමේ තර්ජනයට මුහුණ දී සිටින සත්ත්ව පනත ආදී ගෝලීය නීතිමය ප්‍රතිපාදන යටතේ ද, ශ්‍රී ලංකාවේ දී 1973 දී ස්‌ථාපනය කර 1973 සහ 1993 දී සංශෝධනය කරන ලද ශාඛ හා සත්ත්ව ආඥ පනත (FAUNAAND FLORA PROTECTION ORDINANCE (AMENDMENT) ACT 1993 (NO .49 OF 1993) මගින්ද අලියා ආරක්‍ෂා කර ඇත. ශ්‍රී ලංකාවේ ජීවත් වන ආසියානු අලියා පිළිබඳවත්, අලින්ගේ ක්‍රියාකාරිත්වය හේතුවෙන් සහෝදර මිනිස්‌ ප්‍රජාවට සිදුවන බරපතල ව්‍යසනයන්ද නිවැරැදිව කළමනාකරණය කිරීම තව දුරටත් ප්‍රමාද වීමෙන් අලි සංහතිය ශ්‍රී ලංකාවෙන් සදහටම තුරන් වීම නොවැළැක්‌විය හැකිවනු ඇත. දින 03 කට එක අලියා බැගින් එසේ නැතහොත් පැය 72 කට වරක්‌ එක අලියකු මිය යැම යනු ඉදිරි වසර කිහිපයේදී ලංකාවේ ආසියානු අලියා වඳවන බවට ඉතාම පැහැදිලි සාක්‍ෂියකි. එම නිසා යෝජිත ශ්‍රී ලංකාවේ ආසියානු අලි සංරක්‍ෂණ අධිකාරිය පිහිටුවා ගෝලයේ අලි සංරක්‍ෂණ කටයුතුවල අද්‍යතන ක්‍රමෝපායන් මෙන්ම විද්‍යාත්මක සංකල්පද ඒ සඳහා ලබාගත හැකි ආධාර උපකාරද කඩිනමින් ලබාගෙන ලංකාවේ අලි ප්‍රජාවත් ඔවුන්ට ගොදුරු වන අපේ සහෝදර ජනයාත් බේරා ගැනීමට කටයුතු කිරීම කෙරෙහි රජයේ අවධානය වහාම යොමු විය යුතුය. සැබැවින්ම ස්‌වභාව ධර්මය විසින් අකාරුණික කිසිම සතකු නිර්මාණය කර නැත. පෘථිවි මානුෂීය වාර්ගිකයන්ගේ අනිසි භාවිතයත් වැරැදි ක්‍රියාකලාපයත් හේතුවෙන් යහපත් සුවිනීත නිර්මාණයන් කෙළෙසී ඇති බව අප නිතරම සිහිකර ගත යුතුය. දේශප්‍රිය නානායක්‌කාර

No comments:

Post a Comment